විදෙස් රටකට පනින්න හැදූ 8 දෙනකු නාවික හමුදා භාරයේ

0
17

මන්නාරමේ පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 08 දෙනකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී  ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරමේ පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ පෙරේදා (13දා) රාත්‍රි කාලයේ කළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, එම වෙරළ තීරයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් පිරිසක් නීරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කොට ඇත.

එහිදී එම වෙරළ තීරයේ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැක කෙරෙන වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් තිදෙනකු, කාන්තාවන් දෙදෙනකු සහ වයස අවුරුදු 18ට අඩු තිදෙනකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කොට තිබේ.

ඒ අනුව නාවික හමුදා භාරයට පත් පුද්ගලයන් පිරිස මොරවැව, වවුනියාව, යාපනය සහ පේදුරුතුඩුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හ¾දුනා ගන්නා ලද අතර එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට ඇතැයි නාවික හමුදාව පැවැසීය.

එමෙන්ම ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම්වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර ජීවිත අවදානමට පත්වීමෙන් මෙන්ම නීතිය ඉදිරියේ වරදකරුවකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

චාමර අමරසූරිය