වැඩේ නම් හොඳයි එහෙත්…

0
79

ශ්‍රී  ලංකාවේ ලක්ෂ 63ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවත්, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක හා ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවා ඇති බවට ඊයේ ‘මව්බිමෙ’හි පළ වූ ප්‍රධාන පුවත සමඟ එක දරුවකුවත් මන්දපෝෂණයට  ගොදුරු නොකරන බවට ජනපතිගෙන් ප්‍රතිඥාවක්ද විය.

ලෝක සංවිධාන කළ අනතුරු ඇඟවීම ගැන අවස්ථා කිහිපයකම රටේ වගකිවයුතු අංශ පූර්ව දැනුවත් වීමකින් සිටි බව රහසක් නොවේ. වර්තමාන අර්බුදකාරී තත්ත්වය උද්ගත වන්නට පෙර සිටම මෙබඳු තත්ත්වයක් පිළිබඳ අනාවැකි පළවෙමින් තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්ව අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධව කරුණු පැහැදිලි කළ බව රහසක් නොවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය වර්ෂයේ හරිත කෘෂිකර්ම බළකායක් පිහිටුවා මේ රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානය යොමු කළ නමුදු, එම ක්‍රියාමාර්ගය ලත්තැනම ලොප් වී ගියා මිසක එහි කිසිදු සාර්ථකභාවයක් පෙන්වූයේ නැත. මේ රටේ සාම්ප්‍රදායික කෘෂි ජීවිතය එක්වරම උඩුයටිකුරු කොට රට අලුත් මාවතකට ගෙන යෑම උඩුගම් බලා පිහිනීමක් බව ඔවුන්ට අවබෝධ වූයේ වැඩේ වැරදී අන්තිමට ගොවි ජනතාව කැරලි ගසන්නට පටන් ගත්විටය.

ආහාර සුරක්ෂිතතාව යනු ඉතා අරපරිස්සමින් විස¼දාගත යුතු ගැටලුවක් බව අද දවස වන විට මේ රටේ සියලු බලධරයන්ට ඉගෙන ගන්නට ඉඩප්‍රස්තා සැලසී හමාරය. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ජනපති උපදෙසින් බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ආරම්භ කොට තිබේ. ඉකුත් 13දා ඇරැඹූ මේ යාන්ත්‍රණයෙහි මූලික අභිප්‍රාය දෙකකි.

කිසිදු පුරවැසියෙක් ආහාර හිඟකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය. කිසිදු දරුවෙක් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය. මෙකී අභිප්‍රායයන් සපුරා ගැනීම සඳහා මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රයත්න දරා ඇති අවස්ථා ගැන ඕනෑ තරම් තොරතුරු, මතක සටහන් ඇතත් මේ කිසිදු අරමුණක් සපුරා ගන්නට අප රට මෙතෙක් අසමත්ව ඇත. ඇයි අපට බැරිවුණේ? පමා වී හෝ අප පිළිතුරු සෙවිය යුතු බරපතළ ගැටලුවකි.

ස්වයංපෝෂිත දේශීය ආර්ථිකයක් පිළිබඳ සංකල්පය රට හමුවේ තබමින් 1970 වර්ෂයේ මහ මැතිවරණයෙන් බලයට පත්වූ සමඟි පෙරමුණු ආණ්ඩුව කළ කී දේවල් අපට අමතකව නැත. එකල විද්‍යුත් මාධ්‍ය අතර ප්‍රමුඛව නැඟී සිටි ගුවන් විදුලියෙන් අපට නිතර නිතර ඇසුණේ දේශීයත්වය අගය කරන ආකාරයේ ගීතය. අන්තිමට වුණේ අල, බතල හිටවනවා තබා තිබෙන කුඹුරු ටිකවත් අස්වද්දා ගන්නට බැරිවීමය. කලකට පසු හාල් පෝලිම්ය. මිරිස් පෝලිම්ය. පාන් පෝලිම්ය.

ආහාර ද්‍රව්‍ය එහෙ මෙහේ හොරෙන් ගෙන යන අය අල්ලා ගන්නට මෙහෙයුම්ද විය. පත්තරවල නිතර නිතර වාර්තා වුණේ මඤ්‍ෙඤාක්කා, අල – බතල කා කුසගිනි නිවාගත් මිනිසුන් රෝගී වී රෝහල්ගත වන කතන්දරය. හාමතේ මියෙන මිනිසුන් ගැන කතන්දරය. 1977 මහ මැතිවරණයෙන් බලයට පත්වන එජාප ආණ්ඩුව දුන් මැතිවරණ පොරොන්දුවක් වූයේ සෑම පවුලකටම ධාන්‍ය රාත්තල් අටක් නොමිලේ දෙන බවය. බලයට පැමිණි පසු නොමිලේ තබා සල්ලිවලටවත් ගන්නට බඩු තිබුණේ නැත.

රටේ ආර්ථිකය උඩු යටිකුරු කළේ ඒ අති දුෂ්කර සමය තුළය. කන්නට, බොන්නට, අඳින්නට – පලඳින්නට පමණක් නොව මිනිසුන්ට කා බී විනෝද වී එහෙ මෙහෙ දුව පැන පැන ඉන්නට මාවත සැකසුණේය. ‘ආර්ථිකයේ සියලු ‍ෙදාර කවුළු හැර දමා තිබිණි. අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේත් මේ රටට කඩිමුඩියේ එන්නට පටන් ගත්තේය. දේශීය ආර්ථිකයට පණ පොවමින් දිවි ගැට ගහගන්නට හුරුපුරුදුව සිටි උතුරේ ජනතාවට බරපතළ ජීවන ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවිය. වාර්ගික අර්බුදයක් දක්වා ඔඩුදුවන්නට පටන් ගත්තේ ඒ ආර්ථික ගැටලුවය.

වර්තමානයේ සමස්ත ජාතියම බරපතළ ආර්ථික අගාධයකට මෙන්ම ඒ හා බැඳි දේශපාලනික හා සමාජීය ගැටලු රැසකට මැදිව සිටිනු පෙනෙයි. මෙබඳු මොහොතක මේ රටට මුලින්ම අවශ්‍ය වන්නේ එක්සත්කමය. අනතුරුව රට ගොඩනැංවීමේ නිර්ව්‍යාජ වැඩපිළිවෙළකි. ඒ අනුව බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ඵලදායක පියවරක් වනු දැකීම අපගේද අභිලාෂයයි.

ඒ සඳහා තවදුරටත් කල් බල බලා සිටිය යුතු නැත. සියල්ල වහා සක්‍රිය විය යුතුය. ඒ අනුව රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා කමිටු 7ක් පත්කොට ඇති බව කියයි. ගොවි ජනතාවට සාධාරණ මිලට පොහොර දෙන බවද කියයි.

මහ කන්නය සාර්ථක කර ගැනීමට කෘෂි යෙදවුම් අඛණ්ඩව සැලසුම් කරන බවද කියයි. 2025 වර්ෂය වන විට ආහාර අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට සැලසුම්ය. මේ කිසිවක් නරක නැත. අවශ්‍ය වන්නේ වැඩේ හරියට ක්‍රියාවට නැංවීමය. ලැබුණු සහ ලැබීමට නියමිත විදේශීය අනුග්‍රහය, සහයෝගය නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමය. ඉතිහාසයේ එය එසේම වුණා නම් දැන් අපට මෙසේ අර්බුද මැද ජීවත්වන්නට සිදුවන්නේ නැත.

රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් සියලුදෙනාට දිවා ආහාර වේල සඳහා සමබල බත් වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කොට ඇති බවටද අද අප ‘මව්බිමෙ’හි පුවතකි. දැනට රජයේ පාසල්වල සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ලක්ෂ 43ක් වන අතර එයින් ලක්ෂ 18ක් තරම් වූ ප්‍රමාණයකට මෙම ප්‍රදානයේ හිමිකම් ලැබෙයි.

පාසල් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙළ අතීතයේද ක්‍රියාවට නැඟිණි. එහෙත් ඒ හැම වැඩපිළිවෙළකම කුමක් හෝ අඩුලුහුඬුකමක් පෙනෙන්නට තිබිණි. ‘කොළඹට කිරි _ගමට කැකිරි’ වැනි විරෝධතා පාඨ පැනනැඟුණේ ඒ හිඩැස, අඩුව, මදිපාඩුව, වෙනස පිළිබඳවය. ඉදිරියට ඉතිහාසයට එවැනි කළු පැල්ලම් එක් නොවන තැනට වගබලාගත යුතුය.

මේ රටේ ග්‍රාම නිලධාරි වසම් 14,022කි. මේ හැම ග්‍රාම නිලධාරි වසමකම රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙක් වෙති. මොවුන්ගේ මූලිකත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමඟින් ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ වැඩසටහනකට ආණ්ඩුව අත ගසන බව කියයි.

කකුලේ රම්බෝ පිහියා බැඳගෙන රට හදන්න සැරසෙන දේශපාලකයන් සිටින මේ රටේ මේ වගේ යහපත් වැඩ කළ යුත්තේ පරිස්සමෙන්ය. සහන මලු බෙදාගන්නට බැරිව ගහමරා ගත් රටකි මේ. මේ රට වහා විප්ලවීය වෙනසකට ලක් කළ යුතුය. සියල්ලට පෙර මිනිසුන් සතුටින් කා බී ජීවත්වන රටක් හදන්නට පසුබිම ගොඩනඟාගත යුතුය.