වයඹ මුහුදේදී ඉන්දීය යාත්‍රාවකින් ගෙනා කෝටි 13ක කේරළ ගංජා අල්ලයි

0
25

නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක  දෙපාර්තමේන්තුව එක්ව වයඹ මුහුදේ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 434ක  තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධීවර යාත්‍රාවක් සමඟ මෙරට සැකකරුවන් 05ක්ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

වෙරළ ආරක්ෂ්ක ‘සුරක්ෂා’ නෞකාව මඟින් ශ්‍රී  ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේ පෙරේදා (13දා) දින පස්වරු කාලයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, පුත්තලම කුදිරමලේ තුඩුවට බටහිර දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ  ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්ෂා කොට ඇත.

එහිදී, එම ඉන්දීය ඩව් යාත්‍රාව තුළ තිබූ උර 09ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 434ක (තෙත බර සහිත) පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් පස් දෙදෙනකු සුරක්ෂා නෞකාව මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම, මෙම ඉන්දීය ඩව් යාත්‍රාවෙන් රැගෙන ආ කේරළ ගංජා තොගය මුහුදේදී හුවමාරු කර මෙරටට රැගෙන ඒම සඳහා එම මුහුදු ප්‍රදේශයට

පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි  ශ්‍රී  ලාංකික සැකකරුවන් පස් දෙනෙකුද ‘සුරක්ෂා’ නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ඉන්දීය හා මෙරට සැකකරුවන්, යාත්‍රා සහ කේරළ ගංජා තොගය මූලික විමර්ශනවලින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි.

චාමර අමරසූරිය