මානව හිමිකම් කොමිසමේදී ප්‍රකාශ වුණේ රට ආර්ථික අර්බුදයට ලක් කළ අයට දඬුවම් කළ යුතු බවයි

0
53

“අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය දිහා බැලුවම ජාත්‍යන්තරයෙත් අපේ රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කතා කරනවා. පසුගියදා ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්තුමියගේ ප්‍රකාශය දිහා බැලුවම මේ තත්ත්වය පැහැදිලි වෙනවා. මෙතෙක් අපිට මානව හිමිකම් කොමිසමේ චෝදනා හෝ කාරණා සාකච්ඡා වුණේ රටේ පැවැති යුද්ධය සම්බන්ධව ඒ ඇතිවුණ තත්ත්වයන් ගැනයි.

හැබැයි අද ඊට අමතරව මේ රටේ ආර්ථිකයට ඇතිවෙලා තිබෙන ව්‍යසනයත් රටේ ජීවත්වන දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයත් හරි ආහාර වේලක් ගන්න බැරි තැනකට පත් කරලා තියෙන මේ ආර්ථික ව්‍යසනයේ වගකිවයුත්තන් නම් කරමින් ඒ අයට දඬුවම් දිය යුතුයි කියන තැනට මානව හිමිකම් කොමිසමේ අලුත් පිටුවක් පෙරළා තිබෙනවා.”

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල පැවැසීය.

“වර්තමාන ජනාධිපතිවරයා මේ වෙන කොට ඇමැති මණ්ඩලයට රාජ්‍ය ඇමැතිවරු 38ක් පත් කරලා. තවත් කැබිනට් ඇමැතිවරු 12ක් පත් කරන බව ආරංචියි. අපි අහනව මෙවැනි ආර්ථික ව්‍යසනයක් තියෙන වෙලාවක රටේ ජනතාවට ඇතුළු පාසල් දරුවන්ට නිසි ආහාර වේලක් නැති මොහොතක ඒ වගේම 20%ක් පාසල් දරුවන් උදය ආහාර නැතුව පාසල් එන බව විදුහල්පතිවරුන්ගේ සංගමය කියන මොහොතක මේ රටේ මන්දපෝෂණය ලෝකයේ ඉහළම අංශයට ගිහින් තියෙන අවස්ථාවේ ඇමැතිවරු පත් කිරීම සාධාරණද? 

ඒ නිසා තමයි මානව හිමිකම් කොමිසම කියන්නේ මේ රටේ ආර්ථිකය ඒ තැනට ගෙනාපු වගකිවයුත්තන්ට දඬුවම් කරන්න ඕන කියලා. එහිදී වර්තමාන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මොනවද කරන්නේ. විශේෂයෙන්ම මෙය ආර්ථිකය අද තියෙන තැනට ගේන්න කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය සහ මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරපු බැසිල් රාජපක්ෂ වැනි අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා විපක්ෂය ඇතුළු මහ බැංකු විශේෂඥයන් දිගින් දිගටම වසර එකහමාරකට කලින් කිව්වා.

ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි කියලා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක් විදිහට අපි දිගින් දිගටම කිව්වා. එහෙම තිබියදී තමයි හිතාමතා ආර්ථිකය කඩා වැටීමට රාජපක්ෂ පවුල් පාලනය කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විපක්ෂයක් විදිහට මේ කරුණු ඉදිරිපත් කරන්න කියද්දී පාර්ලිමේන්තුවට මාස තුනකින් කිසිම වාර්තාවක් ඉදිරිපත් කළේ නැහැ.

ආර්ථිකය විනාශ කරන්න මුල් වූ තවත් කණ්ඩායමක් ඉන්නවා. එහි ප්‍රධානියෙක් තමයි කබ්රාල් මහ බැංකුවේ හිටපු අධිපතිවරයා. ඒ වගේම පී.බී. ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම් සහ මීට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම් ඒ වගේම මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකුවේ අධිපතිවරයා. මේ කණ්ඩායම තමයි පැහැදිලිවම අද තියෙන මේ ආර්ථික තත්ත්වය ඇති කරන්න ප්‍රධාන ක්‍රියාකාරීන්. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට ලොකු ඇමැති මණ්ඩලයක් පත් කරගෙන මේ රටේ ආර්ථිකය තවත් විනාශ කරමින් රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා. පැහැදිලිව කියන්න ඕන දැන් ඔය පත් කරගෙන ඉන්න ඇමැති මණ්ඩලය, රාජ්‍ය කැබිනට් අය තමයි හැම එකටම එහෙයි කියපු අය. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක සාධාරණීයකරණය කරන්න කතා කළා.

අපේ ගොවියාගේ වී ගොවිතැන විතරක් නෙවෙයි අපනයන බෝග තේ, රබර්, පොල් ඩොලර් ගේන ඒවා සියල්ල විනාශ කළා. ඒ විනාශයේ ප්‍රතිඵල තමයි දැන් අපිට ලැබිල තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ දැඩි විරෝධයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. මේ තියෙන තත්ත්වය තුළ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් පවා ඉල්ලීම් කරන්නේ මේ ආර්ථිකය විනාශ කරපු කණ්ඩායමට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අද රටේ හැම කෙනෙක්ම මුහුණ දීලා තියෙන තත්ත්වය හා රටේ දරුවන්ව මන්දපෝෂණය කරා ගෙනියන තත්ත්වය ඇති කරපු අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි රටේ සමස්ත ජනතාවගේ වැඩි කොටසක් කියන්නේ.

ඒ වගේම පසුගියදා රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දුන්නා. ඒ ඇමැතිකම් ගන්න පොදුජන සන්ධානයේ උදවියට ලැජ්ජ නැද්ද කියලා අපි  අහනවා. මේ රටේ ජීවත්වන ජනතාවට තමන්ගේ දරුවට තුන් වේලක් තියා එක වේලක් කන්න දෙන්න බැරුව මවුපියෝ ළතැවෙන වෙලාවක අත්‍යවශ්‍ය බෙහෙත් නැතිව රෝහල්වල රෝගීන් මියයන වෙලාවක පොදුජන පෙරමුණ සන්ධානයේ අයට ලැජ්ජ නැද්ද ඇමැතිකම් වරප්‍රසාද ගන්න.

එසේම ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයාට ඇමැතිකම ලබා දීම ගැනත් ලැජ්ජාවට පත් වෙන්න ඕන. අපි සුබ පතනවා ක්‍රිකට් කණ්ඩායමට. ඒ වගේම නෙට්බෝල් කණ්ඩායම ලබපු ජයග්‍රහණයට. මෙවැනි තත්ත්වයක් තුළ ඒ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රටේ ජනතාව වැටිලා තියෙන මානසිකත්වය ගොඩ ගන්න මුහුණට සිනහවක් දුන්න එක හොඳ අවස්ථාවක්.”  

නිර්මාණි ගුණරත්න