බින්තැන්නට අණසක පතුරවමින් දුකට පිහිටවෙන මහා ලොකු දේව මෑණියෝ

0
31

“දෙවි දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්” බින්තැන්නේ පුරවරයට අණසක පතුරවමින් තෙදබල පෙන්වමින් බින්තැන්නේ ගොවි ජනතාවගේ ගෞරවාදරයට පත්ව ඔවුන්ට විවිධ ආකාරයෙන් උදවු උපකාර කරනු ලබන, පිහිට වෙන ආරක්ෂා කරන දේව මාතාවක් වන්නේ මහ ලොකුවන් නොහොත් මහා ලොකු දේවමෑණියන්ය.

සුමන සමන් දෙවිඳුන්ගේ වැඩිමහල් සොහොයුරිය වන මහා ලොකුවන් නොහොත් මහා ලොකු දේව මෑණියන් ජන සමාජයට නැතිවම බැරි දේව මාතාවියකි. ගොවි ජනතාවට පිහිට වන්නා වූ බෞද්ධ දේවතාවියක වශයෙන් පිළිගැනීමට සාධක ඇති එකම දේවතාවිය වන්නේද මහා ලොකු දේව මෑණියන් පමණි.

බ්‍රාහ්මණයන් විසින් අප ජන හදවත්වලට ඇතුළු කළ ඔවුන්ගේ දේවතාවියන් බොහෝ ගණනක් අපි වන්දනාමාන කරන්නෙමු. දේවාල තනා ඇත්තෙමු. ඒ දේව මාතාවන් වෙනුවෙන් විවිධ පළාත්වල පෙරහරද පවත්වන්නෙමු. එහෙත් මහා ලොකු මෑණියන් වෙනුවෙන් වන්දනාමාන කරන්නේද දේවාල ඇත්තේද පෙරහර පවත්වන්නේද මහියංගණයේ පමණි.

මහා ලොකු මෑණියන් පිදීම බ්‍රාහ්මණ බලපෑම් නිසාවෙන් අප රටේ ජනතාව අමතක කරනු ලැබ ඇත. එයට හේතුව ලෙසින් සඳහන් වන්නේ හින්දු දෙවියකු වන ලක්ෂ්මණ (රාමගේ සෙහොයුරු) සමන් දෙවියන් බව හුවා දැක්වීමේදී මහා ලොකු මෑණියන් ප්‍රධාන බාධාවක් බව තේරුම් ගත් බ්‍රාහ්මණයන් විසින් උපායන් යොදමින් අප රටේ ජන හදවත් තුළින් මහා ලොකු දේව මෑණියන් පිළිබඳ විශ්වාසය නැති කිරීමට කටයුතු කොට ඇති බව කියයි.

සමන් දෙවියන්ගේ පවුලේ විස්තර සහිත සෙල්ලිපි ලංකාවේ ඇති අතර එම සෙල්ලිපි මඟින් එම පවුලේ සාමාජිකයන් පිළිබඳ වැටහීමක් අපට ලබාගත හැකිය. ඒවායේ සමන් දෙවියන්ගේ පියා (පනීත මහා රජු), මව (අබි උපලිය), සහෝදරිය (මහ ලොකුවන්), බිරිය (උපශිකතිශය), පුතා (චෙමශ උප රජු), දුව (උපශිකචිතකය), මුනුපුරා (අශෝක මහා රජු) ලෙසින් සඳහන්ව ඇත.

සෙල්ලිපිවල විස්තර මඟින් සමන් දෙවියන් හෙළ බෞද්ධ දේවතාවකු වශයෙන්ද සමන් දෙවියන්ගේ සහෝදරිය හෙළ බෞද්ධ දේවතාවියක වශයෙන්ද පවුලේ අනෙක් සාමාජිකයන් හෙළ බෞද්ධ රාජවංශිකයන් වශයෙන්ද බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් සිදුකළ බව පිළිගත හැකිය.

මහා ලොකුවන් දේව මෑණියන්ට අයත් බල ප්‍රදේශ ලෙස තලංගමුව, දෙහිගොල්ල, මකුළුගොල්ල, සේරාණ, වෙලම්පැල්ල, හසලක වරාගොල්ල, ගුරුළුපොත කඳන්හේන යන ප්‍රදේශ සැලකේ. සේරන් යකා, කෙහෙල්පතලගල යකා, මාවරගල යකා, මල්දම්පහ යකා සහ ගුරුමල් ඇමැති මහා ලොකු මෑණියන්ගේ ඇමැතිවරුන් ලෙස ජන ප්‍රවාදවල සඳහන් වේ.

මහා ලොකු දේව මෑණියන්ගේ පිළිමයක් සහිත දේවාල කිහිපයක් මහියංගණ සහ හසලක ප්‍රදේශවල ඇත. මහත් තෙද බල හා හාස්කම් ඇති මෙම මෑණියන් පිළිබඳ දන්නා මේ ප්‍රදේශවල ජනතාව පමණක් නොව අෑත එපිට ගම්දනව්වල ජනතාවද නිතර පැමිණ මෙම ස්ථානවලදී බාර හාර වීම් පුද පූජා පැවැත්වීම් සිදු කරනු ලබයි.

විශේෂයෙන් දරුවන් නොමැති කාන්තාවන් දරු සම්පත් ලබා ගනු සඳහාත් කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් සිය භවභෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාත් රෝගියෝ ලෙඩ දුක් දුරු කරගැනීම සඳහාත් ආර්ථික දුක් කටොලුවලින් පීඩාවට පත්වූවෝ සෞභාග්‍ය උදාකර ගැනීමටත් පාසල් දරුවන් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙතුමියගේ පිහිට පැතීම මේ දේවාලවලදී අදත් බහුලව දක්නට ලැබේ.

මෙම දේවාලවලදී පහන් දල්වා සුවඳ දුම් අල්ලා මල් පහන් පූජා කොට පලතුරු වට්ටි ආදිය පුදා කපු මහතා ලවා යාතිකා කරවා ගැනීමෙන් භාරහාර වීමෙන් තම අපේක්ෂා ඉටුවන බව ගැමියන් තුළ දැඩි විශ්වාසයක් ගොඩනැඟී තිබේ. ඒ නිසාම තම කෙත්වතු ආරම්භ කිරීමට නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර හෝ වෙනත් කටයුත්තක් ආරම්භ කිරීමට පෙර මෙම ස්ථානවලට පැමිණ බාර හාර වීමත් එම කටයුතු සාර්ථක වීමෙන් පසු හෝ ගෙවත්තේ, කෙතේ හෝ හේනේ අස්වනු නෙළා අහවර වූ පසු පළමු කොටස රැගෙන විත් දෙවියන්ට කිරි ආහාරයක් සේ පූජා කිරීම එම ගැමියන්ගේ චාරිත්‍රයක් වී තිබේ.

තම මලණුවන් බුදුන් වහන්සේගේ කේශ ධාතු ඉල්ලා ගත් අවස්ථාවෙහි එම කේශ ධාතු තැන්පත් කොට සෑයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන ලද්දේ මහා ලොකුවන් බව ජනප්‍රවාදයෙහි සඳහන්වේ. ඒ තම යක්ෂ සේනාව කැඳවා ඒ අය ලවා වැඩ කරගැනීමෙන් බව කියයි.

මහියංගණ සුමන සමන් මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ජේ. එම්. ලයනල් බණ්ඩාර මහතා කියන්නේ මහියංගණ පූජා භූමියේ පිහිටි සමන් දේවාලයේ ඓතිහාසික තත්ත්වයයි. චෛත්‍ය අසලින් පිහිටා තිබෙන සමන් දේවාලයේ සමන් දෙවිඳුන්ට මෙන්ම  මෙම මහා ලොකු මෑණියන් වෙනුවෙන්ද බැතිමතුන් වැඳුම් පිදුම් කරනු ලබනවා. මෙම දේවාලයේ ආරම්භක අවධිය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට වෙහෙස දැරුවද එය සිදුකළ නොහැකියි.

එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම දේවාලය වරින් වර නවීකරණයට ලක් වී තිබිම බව කියනවා. ක්‍රි. පූ. හය වැනි සියවසේ සිට සමන් දෙවියන් මහියංගණ පුද බිමෙහි වූ බවට ජනප්‍රවාදගත තොරතුරු සඳහන් කරනවා.  වැදි ජනයා සමන් දෙවියන්ටත් වඩා පුද පූජා පවත්වනුයේ මහ ලොකුවන්ටයි. එයට හේතු වන්නේ සමන් දෙවියන් සෞම්‍ය වූ දෙවි කෙනකු වීමත් මහ ලොකුවෝ චණ්ඩ, සැඩ පරුෂ දේවතාවියක වීමත් බව කියනවා.

සමන් දෙවියන් තම මුත්තලා ඇත්තෝ බවත් මහ ලොකුවන් තම මුත්තිලැ ඇත්තෝ බවත් ආදිවාසි නායන වනස්පති උෟරුවරිගේ වන්නියලැ ඇත්තෝ නිතර සඳහන් කරනවා. ආදිවාසීන් විසින් පවත්වනු ලබන පුද පූජා අතර වැදි පෙරහර මහියංගණයේදී පවත්වනු ලබන්නේද සමන් දෙවියන් හා මහා ලොකුවන් උදෙසා වීමද විශේෂත්වයකි. මේ දෙදෙනාටම පුද පූජා පැවැත්වීමෙන් සහ පින් අනුමෝදන් කිරීමෙන් සෙත් ශාන්තියක් සලසා ගැනීමට හැකිවෙන බවද ආදිවාසි ජනයා තුළ දැඩි විශ්වාසයක් පවතිනවා.

මහ ලොකුවෝ හෙවත් මහ ලොකු දේවතාවිය හා බැඳුණු ජනප්‍රවාද කිහිපයක්ද ජන වහර සඳහන් කරන බව වරාගොල්ල මහා නාග දේවාලයේ කපු මහතා වන අරඹගේ ජයවර්ධන මහතා සඳහන් කරයි. බුදුන් වහන්සේගෙන් කේශ ධාතු ලබා ගත් සුමන සමන් දෙවියන් මෙහි එම ධාතූන් තැන්පත් කොට සෑයක් බැඳීමක් සිදුකළ යුතු බව සිය වැඩිමහල් සොහොයුරියට දැනුම්දීමෙන් පසු සිය යක්ෂ සේනාවත් රැගෙන මහියංගණයට පැමිණ මුලින්ම තම තේජස බින්තැන්නේ ජනතාවට පෙන්විය යුතුය යන්න ඇය සිතා තිබෙනවා.  මේ සඳහා ඇය උපක්‍රමයක් යෙදීය.

ඒ අනුව මුලින්ම සොරබොර ගමට නුදුරු වන පෙදෙසක සිය වාසස්ථානය ඉදිකර ගෙන තිබෙනවා. මෙලෙස වාසස්ථානය ඉදිකරගත් මහ ලොකුවෝ සොරබොරගම් පෙදෙසෙහි වූ වැදි නායකයකුගේ බිරිය හදිසි මරණයකට ගොදුරු කර ඇත. මෙයින් දැඩි සේ කම්පනයටත් ශෝකයටත් පත් වැදි ප්‍රධානියා සිය බිරියගේ අවමඟුල් කටයුතු වහා වහා සූදානම් කරන්නට විය. අවමඟුල සඳහා අවශ්‍ය පෙට්ටිය සකස් කිරීම පිරිසකට භාර කෙරිණි.

පෙට්ටිය සකස් කිරීමේ කාරිය බාරගත් පිරිස අසල වූ වනයට වැද එහි දැවැන්ත ගසක් කපා බිම හෙළා එය එකල පැවැති චාරිත්‍ර අනුව ඔරුවක් මෙන් සකස් කරන්නට පටන්ගෙන තිබේ. මේ අතර එහි පැමිණි මහ ලොකුවෝ නුඹලා කුමක් කරන්නේ දැයි විමසා ඇත. පිරිස පවසා ඇත්තේ සිය නායකයාගේ බිරිය මියගිය හෙයින් ඇය වළ දැමීමට අවශ්‍ය පෙට්ටිය සකස් කරන බවයි. එම කතාව ඇසූ මහ ලොකුවෝ පිරිසට මෙසේ පවසා තිබේ “හොඳයි උඔලගේ නායකයාගේ බිරියට පණ දෙන්න මට පුළුවන්.

හැබැයි මම කියන විධියට පුද පූජා යාතු කර්ම කරන්න පොරොන්දු වෙන්න ඕන. එහෙම පොරොන්දු වුණොත් විතරක් මම ඇයට පණ දෙන්නම්” යනුවෙනි. එම පුවත වැදි නායකයා වෙත යෑමට ගතවූයේ සුළු මොහොතකි. ඒ මොහොතේම එහි පැමිණි වැදි නායකයා මහ ලොකුවන්ගේ දෙපා නමැද මෙසේ ප්‍රකාශ කර තිබේ. “පස් වහන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස ඔබතුමිය කියන ඕනම දෙයක් මම කරන්නම්. මගේ අහිංසක බිරියට පණ දෙන්න.” යැයි බැගෑපත්ව ඉල්ලා තිබේ.

එහිදී ඇය “හොඳයි මම ඔබගේ ඉල්ලීම ඉටු කරන්නම්. දැන් ගෙදර ගොස් පොරොන්දු  වූ පරිදි කටයුතු කරන්නැයි” කීවාය. මෙසේ පවසා ඇය අතුරුදන් වී තිබේ. ඇය අතුරුදන් වීමත් සමඟ රැස්ව සිටි පිරිස ඇතුළු නායකයා වහා සිය නිවෙස කරා ගොස් තිබෙනවා. නිවෙසට පැමිණ බැලීමේදී ඔවුන්ට දැකගත හැකි වූයේ දෑස් අදහාගත නොහැකි දර්ශනයකි.

සිය බිරිය මළවුන්ගෙන් නැඟිට පෙරදා මෙන් නිවෙසෙහි වැඩපළ කරන අයුරුයි. ඉන් මහත් සතුටට පත් වැදි නායකයා දේව මාතාවට පින් දී පොරොන්දු වූ පරිදි කටයුතු කරන්නට වුණාලු. එතැන් සිට වැදි ජනයා මහලොකුවන් වෙනුවෙන් පුද පූජා යාතුකර්ම කරන්නටත් තමන්ට කරදර බාධක සිදුවූ විටකදී ඇය සිහිපත් කරන්නටත් පියවර ගෙන තිබුණු බව කියනවා.

තවත් ජනප්‍රවාදයක් ගැන අපට පැවැසුවේ මහියංගණ, ගැමුණුපුර දැඩිමුණ්ඩ දේවාලයේ ඩී. එම්. ජයසේන කපු මහතාය. මහියංගණ දාගැබෙහි ඉදිකිරීම් කටයුතු නිමවීමෙන් පසු මහ ලොකුවන් සිය සහෝදරයා සමඟ යම් මතගැටුමක් පැනනැඟ තිබෙනවා.

ඉන් කෝපයට පත් මහ ලොකුවෝ සොරබොර ප්‍රදේශයේ පිහිටි කොකාගල වැව (වර්තමානයේ සෙරබොර වැව) මැද පිහිටි කුඩා දූපතකට ගොස් වාසය කරන්නට ගොස් තිබෙනවා. මෙහි ඉදිකරන ලද අලංකාර මන්දිරයක ඇය වාසය කළ බව කියැවෙනවා. සියලු කටයුතු ඇමැතිවරුන්ට පවරා දී තිබූ බවද කියයි. මෙම මන්දිරය සොරබොර වැවේ ජලය පිරීම නිසා අද දක්නට නොමැති බව සඳහන් වෙනවා.

අනෙක් ජනප්‍රවාදය ගැන ජයවර්ධන කපු මහතා විස්තර කරන්නේ මෙලෙසිනි. ජනප්‍රවාදයක කියැවෙන්නේ වෙලන්පැලේ දේවාලය ක¾දුමුදුනේ ගල්ලෙනක පවත්වාගෙන ගොස් ඇති බවයි.

දේවාලය පවත්වාගෙන යන කපු මහතා වසරක් පාසා මහ ලොකු දේවතාවිය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීම සිරිතක් කරගෙන තිබුණාලු. වාර්ෂිකව සූදානම් කරනු ලබන උත්සව කාලය උදාවුණාට පස්සේ එය සිදුකිරීම සඳහා කපු මහතා ලහි ලහියේම ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිට තිබෙනවා. මෙලෙස එම කටයුතු සිදු කරමින් සිටි දිනක දවස පුරා වෙහෙස මහන්සි වී සිටි කපු මහතා වෙනදා මෙන් දේවාලය ඉදිරිපිට නිදන්නට වූයේය. මධ්‍යම රාත්‍රියෙහි ඔහු සිහිනයක් දුටුවේය.

ඒ අන් කවරකුවත් නොව මහ ලොකු දේව මාතාව තමන් ඉදිරියේ පෙනී සිටි සිහිනයකි. එහිදි ඇය කපු මහතා අමතා “මේ වසරේ මා වෙනුවෙන් පවත්වන උත්සවය ක¾දු මුදුනෙහි පිහිටි ගල්තලාව මත අලංකාර දෙවොලක් සකස් කොට එහි එය සිදුකළ යුතුය යන්නයි,” මෙම සිහිනයෙන් පසුව කලබලයට පත්ව නැඟී සිටි කපු මහතා දැඩි කල්පනාවකට බරවිය. එයට හේතු වූයේ දේවතාවිය පැවසූ ආකාරයට එම ගල් තලාවේ දෙවොලක් තැනීමට කණු සිටුවිය යුතු මුත් ගල විද කණු සිටුවීම අසීරු වන හෙයිනි.

මේ ගැන සිතමින් දින ගණන් ගත වනවාත් සමඟම කපු මහතාගේ ශරීරයද කෘශ වීමට පටන් ගත්තේය. මේ නිසාම මොහු ගැන අනුකම්පා කළ දේව මාතාව දිනක් රාත්‍රියේ එහි පැමිණ ගල් තලාවේ විශාල කණු හතරක් සිටුවීමට හැකි වන පරිදි වළවල් හතරක් හාරා සකස් කර තැබුවාලු. පසු දින කපු මහතා මේ අසිරිමත් ඇදහිය නොහැකි විශ්මකර්ම වැඩෙන් මහත් සේ සතුටට පත්ව තිබේ. ඉන් පසු එහි අලංකාර දෙවොලක් සකස් කර දේවතාවිය පැවසූ පරිදි උත්සවයක් පැවැත් වූ බව කියැවෙනවා.

තෙල්දෙණිය යාය ගමේ පදිංචි ඒ.ඒ. ඩේවිඩ්  කපු මහතා මෙසේ පැවැසීය. ඓතිහාසික මහියංගණ සෑ රදුන් උදෙසා වාර්ෂිකව පෙරහර මංගල්‍යයක් පවත්වනු ලබනවා. මෙම පෙරහර අවසානයේ ආදිවාසීන් විසින් පවත්වනු ලබන වැදි පෙරහරද සුවිශේෂීයි. මෙහිදී ආදිවාසීන් බුදුන් වහන්සේ මහියංගණයට වැඩ යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීමෙන් පසු ධර්ම දේශනා කිරීමේදී සෝවාන් එලයට පත් සුමන නමැති ප්‍රදේශාධිපතියා බුදුන් සරණ යෑම පිළිබඳව උරණ වීම පිළිබඳවත් එම ආරෝවේදී මහ ලොකුවන්ගේ මැදිහත් වීමෙන් නැවත එම ජනයා සුමන සමඟ එක් වූ බවත් විදහාපාන රංගනයන් වැදි පෙරහරේදී දැකගත හැකියි.

මෙම පෙරහරේදී තවත් දැකගත හැකි සුවිශේෂී සිද්ධියක් ජනවහර සඳහන් කරයි. පෙරහරේ රජමහා විහාර පෙරහර පෙරටු කොටගෙන සමන් දේවාල පෙරහර පැවැත්වෙනවා. මෙම පෙරහරේ මහලොකු දේවමාතාවගේ සළු, පිළි සහිත ආභරණ රැගෙන යනු ලබන්නේ කාන්තාවන් සිවු දෙනකු විසින් කර තබාගත් දෝලාවකිනි.

මෙම ‍ෙදා්ලාවේ තැන්පත් කිරීමට එම සළු, පිළි සහිත ආභරණ රැගෙන එනු ලබන්නේ මහියංගණයට කිලෝ මීටර් පහක් පමණ දුරින් පිහිටි කොවිල්කන්ද නමැති ප්‍රදේශයේ පිහිටි දේවාලයක සිටයි. අතීතයේ එම දේවාලයේ තිබෙන පෙට්ටියක එම ආභරණ තැන්පත් කර තිබෙන බව සඳහන්වේ.

පෙරහර සඳහා දේවාල පරිශ්‍රයේ කප් සිටුවා පසු දින අඟළුම දේවාල පරිශ්‍රයේ සිට අලියකු සහිත පෙරහරකින් කොවිල් කන්දට ගොස් මහලොකු දේව මාතාවගේ ආභරණ රැගෙන ඒම සාමාන්‍ය සිරිතක්. පෙරහර කොවිල්කන්දට පැමිණීමට පෙර සළු, පිළි සහිත ආභරණ සමන් දේවාලයේ ඇති ආභරණ පෙට්ටියට සෘද්ධියෙන් වඩින (පැමිණෙන) බව කොවිල් කන්ද දේවාලයේ කපු මහතා අපිට කියා තිබෙනවා.

පෙරහර ගොස් මහා ලොකු දේව මාතාවට පුද පූජා පවත්වා එහි ඇති වෙනත් දෑ රැගෙන නැවත දේවාලයට පැමිණෙන බවද ඔහු පැවසුවා. මෙය මහ ලොකු දේව මාතාවගේ තවත් හාස්කමක් බවද ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ හේතු නිසා මෙම දේවමාතාව ගැන තිබෙන විශ්වාසය දිනෙන් දින වර්ධනය වන බවද ඔවුන්  කියනවා.