පොළොන්නරුවේ අක්කර 60,000ක වී වගාව අනතුරේ

0
23

මෙවර යල කන්නයේ පොළොන්නරුව මහවැලි බී කලාපයේ අක්කර 60,000කට වැඩි ප්‍රමාණයක වී අස්වනු නෙළීමට ඩීසල් හිඟය තදින් බලපා ඇති බව බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයන් මෙන්ම ගොවීහු ප්‍රකාශ කරති.

වී අස්වනු නෙළන යන්ත්‍ර සඳහා ඩීසල් නොමැතිවීමෙන් තම වී අස්වනු කලට වේලාවට නෙළා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී වර්ෂාවට තම වී අස්වනු විනාශ වීමට බොහෝ ඉඩකඩ පවතින බවත්, මෙම තත්ත්වය මත මේ වන විට බී කලාපයේ ඇතැම් කෙත් යායවල ගොයම් කීඩෑ උවදුරට ගොදුරු වී ඇති බවද ගොවීහු සඳහන් කරති.

මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශය යටතේ මෙවර මහවැලි බී කලාපයේ අක්කර 60,000කට වැඩි ප්‍රමාණයක වී වගා කර ඇති අතර එම වී අස්වනු  නෙළීමට ඩීසල් හිඟය තදින්ම බලපා ඇති බවත් තමන් ගොවි සංවිධාන වෙත ඩීසල් ලබා ගැනීමට මුදල් ගෙවා ඇතත් මෙතෙක් ඩීසල් නොලැබීම නිසා වී අස්වනු නෙළීමේ කාලය පසුවී ඇති බවද මහවැලි බී කලාපයේ බොහෝ ගොවීහු සඳහන් කළහ.

මෙවර යල කන්නයේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපය මහා පරිමාණ වී මෝල් හිමියන් වී මිලදී ගැනීමේදී සෑම වී කිලෝවම මිල රුපියල්  110ත් 115ත් අතර ගණනකට අඩු කර ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.

රජය මඟින් නාඩු වී කිලෝවක් රුපියල් 120ටත්, සම්බා වී කිලෝවක්  රුපියල් 125කටත්, කීරි සම්බා කිලෝවක් 130කටත් ලබා ගන්නා බවට ප්‍රකාශ කළද බී කලාපයේ මෙතෙක් රජය මඟින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන බවද ගොවීහු පවසති.

මහවැලි බී කලාපයේ  ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ සඳහන් කළේ මෙවර මහවැලි බී කලාපය යල කන්නයේ ගොවීන්ට වී අස්වනු නෙළීමේදී ඉන්ධන හිඟය තදින් බලපා ඇති බවත් වී වැපිරීමේ සිට වී අස්වනු නෙළා නිවෙසට ප්‍රවාහනය  කරන දක්වාම වෙනත් කන්නවලට වැඩිය මෙවර විශාල මුදලක් වැය වී ඇති බවත්ය. කෘමිනාශක, වල්නාශක මෙන්ම යූරියා පොහොර සඳහාද අධික මුදලක් වැයවූ බැවින්, රජයේ සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක්වත් නියම කරන ලෙසද ස‍රත් රාජපක්ෂ ඉල්ලා සිටියේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට පවතින ඩීසල් හිඟය සම්බන්ධයෙන් අප බෙදුම්කරුවන් කිහිපදෙනකුගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ කුරුණෑගල, මුතුරාජවෙල, මෙන්ම අනෙකුත් බෙදාහැරීම මධ්‍යස්ථානවලින් පොළොන්නරුවට ලැබෙන ඉන්ධන නිසි වෙලාවට නොලැබෙන බවත් ඉල්ලුම් කළ ඉන්ධනවලට වඩා අඩුවෙන් ලැබෙන බවත්ය. 

මනම්පිටිය – නිමල් ජයරත්න