පොහොරත් නැතිව උස් මහත් කරගත් ගොයම කපන්න ඩීසල් නෑ

0
8

කුඹුරුවල ගොයම් කැපෙන සමයේ ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ගොවි සංවිධාන රැසක් කියා සිටියි.

ගොයම් කැපීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර ක්‍රියාත්මක කිරිම සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැතිවීම් හා අධික මිල ගණන් අයකිරීම් හමුවේ ගොවීන් මහත් අසීරුතාවන්ට මුහුණ දෙන බව ඔවුහු පවසති.

මාතලේ දිස්ත්‍රික්කයේ වගා බිම් රැසක මෙවර වී වගා කර ඇති අතර විටින් විට වැසි තත්ත්වයන් ද ඇති වෙමින් පවතී.

එවැනි පසුබිමක නිසි වේලාවට සිය අස්වනු නෙළීමට නොහැකි වුවහොත් ඉන් අත්වන ප්‍රතිවිපාක බරපතළ බව ගොවීහු කියති.

මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල්වලට නිසි වේලාවට ඩීසල් නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පිරවුම්හල් හිමියෝ පවසති.

නිසි කළමනාකරණයක් යටතේ ඉන්ධන ලබාදීම් සිදුවන්නේ නම් මෙවැනි තත්ත්වයන් ඇති නොවන බව  පැවැසූ ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ සිය අස්වනු නෙළන අවස්ථාවන්වල හෝ තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

රටට බත සපයන ගොවියා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම පාලකයන්ගේ වගකීම බව පවසන ගොවීහු විනාශ වන ගොයම දෙස බලා සුසුම්ලෑම් හැර වෙනත් විකල්ප පෙනෙන තෙක් මානයක නොමැති බවද අවධාරණය කරති.

නාඋල – අයි.ඒ. කුමාර