පාස්කු නඩුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මුදාහරින්නැයි නීතිඥයා අධිකරණයෙන් ඉල්ලයි

0
14

පාස්කු ඉරු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් හා සදාකාලික ආබාධිතයන් වූවන් වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති නඩු එකසිය හත නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා පසුගිය දින කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය හමුවේ ඉල්ලීමක් කර සිටියේය.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වූ ජීවිත හා දේපළ හානියට වන්දි ගෙවීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බැවින් මෙලෙස පවරා ඇති නඩු නිෂ්ප්‍රභ කරන ලෙසට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියේය.

ප්‍රහාරයෙන් මියගිය හා සදාකාලික ආබාධිත තත්ත්වයන්ට පත් වූවන්ට වන්දි ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමක් කර ඇති බවත් එම වන්දි මුදල් ලබාදෙන තෙක් ඔවුන් වෙත සානුකම්පිත දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරන නමුත් පැමිණිලිකරුවන් එම දීමනාවන් ලබා ගැනීමට මේ වන තෙක් ඉල්ලීම් කර නොමැති බව වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2019 අප්‍රේල් මස 22 වැනි දින ඉදිරිපත් කරන ලද 2019/04 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට අප්‍රේල් මස 24 වැනි දින අනුමැතිය හිමිව ඇති බවත් එම අමාත්‍ය මණ්ඩල සන්දේශය අනුව වන්දි මුදල් ගෙවීම කරන බවත් නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල සන්දේශය අනුව මියගිය හා සදාකාලික ආබාධිත වූ පුද්ගලයකුහට රුපියල් මිලියනයක් ද තුවාල ලැබූ පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක්ද, දේපළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව වන්දි සඳහා අනුමැතිය හිමිවී ඇති බව නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර වන්දි ගෙවීමේ කටයුතු සඳහා හානිපූර්ණය සඳහා වන කාර්යාලයට පැවැරීමටත් අමාත්‍ය මණ්ඩල සන්දේශය වැඩිදුරටත් නිර්දේශ කර ඇති බව දැනුම් දුන්නේය.

මෙම නඩුවේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මෙම අවස්ථාවේදී උත්තර ගොනු කිරීමක් නොකරන අතර මේ වන විට ඔහු ජනාධිපති වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 ව්‍යවස්ථාව ප්‍රකාරව හිමිවන මුක්තිය අනුව නඩුවේ විත්තිකාරත්වයෙන් ඔහු මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිඥ දිනේෂ්

විදානපතිරණ මහතා හා සෙසු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබුණද එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් තමන්ට වූ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අගතියට පත් වින්දිතයන් එකසිය හත්දෙනකු මෙම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

පැමිණිලිකරුවන් ඔවුන් අගතියට පත් ස්වභාවය අනුව රුපියල් ලක්ෂ සියයේ සිට ඉහළට වන්දි අය කර දෙන ලෙසට ඉල්ලා මෙලෙස නඩු ගොනු කර තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් හා නීතිපතිවරයා මෙම නඩු එකසිය හතෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණි.

හංසි නානායක්කාර