නිවෙසට ඇතුළු වූ අයෙක් බත් මුට්ටියේ ඉතිරිව තිබූ බත් කාලා

0
27

කෑගල්ල දේවාලේගම කෙසෙල්වතුගොඩ නිවෙසක කුස්සියක ජනේලයේ පියනක් ඇර ඇතුළතට ගොස් 14 වැනිදා අලුයම රයිස් කුකර් එකක තිබුණු බත්, සීනි සම්බෝල උයා තිබුණු ඇතිළියකට දමා පිසදා කා කිසියම් පුද්ගලයකු පිටව ගොස් ඇත. දේවාලේගම පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇත්තේ වලගම කෙසෙල්වතුගොඩ ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය කියා සිටියේ වලගම කෙසෙල්වතුගොඩ ප්‍රදේශයේ පැමිණිලිකාර කාන්තාව සිය දියණිය සමඟ නිවෙසේ පදිංචිව සිටින අතර දියණිය කෑගල්ල ප්‍රදේශයේ පාසලක උප ගුරුවරියක් ලෙස ද සේවය කරයි. පැමිණිලිකාර කාන්තාවගේ ඉඩමේ නිවෙසක් තනා ඉතිරි වී තිබුණු පොල් ලී තොගයක් පදිංචිව සිටින නිවෙස ආසන්නයේ මඩුවක ගොඩගසා ඇත. එම මඩුවේ පොල් ලී කෑලි 10ක් පමණ ඉකුත් 12 වැනිදා රාත්‍රි යම් පුද්ගලයෙක් හෝ පිරිසක් සොරාගෙන ගොස් ඇති බවට කාන්තාව 13 වැනිදා දේවාලේගම පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

13 වැනිදා සවස පැමිණිලිකාරිය රාත්‍රි දියණිය සමඟ කෑමට රයිස් කුකර් එකක බතක් උයා සම්බෝලයක් හා හාල්මැස්සන් බැදුමක්ද සාදා තිබේ. 14 වැනිදා උදේට දෙදෙනාට පාන් සමඟ කෑමට සීනි සම්බෝල ඇතිළියක්ද ඊට අමතරව ඇය සාදා ඇත. බත්, සම්බෝල හා හාල්මැස්සන් රෑට කා ඇති මව හා දියණිය රූපවාහිනිය නැරඹීමට ගොස් තිබේ. උප ගුරු දියණිය රාත්‍රි 10ට පමණ කාමරයේ නින්දට වැටී ඇත. 14 වැනිදා අලුයම 1ට පමණ රූපවාහිනිය නරඹා පැමිණිලිකාරිය කුස්සියට ගොස් බලන අවස්ථාවේදී රයිස් කුකර් එකේ තිබුණු බත්, සීනි සම්බෝල ඇතිළියට දමා සම්පූර්ණයෙන්ම පිස දමාගෙන යම් පුද්ගලයෙක් කා ගොස් ඇති බව දැක තිබේ.

පසුව පැමිණිලිකාරිය යම් පුද්ගලයෙක් කුස්සියට ඇතුළු වී ඇත්තේ කොහෙන්දැයි සොයා බලන අවස්ථාවේ කුස්සියේ ජනෙල් පියනක වීදුරුවක් බිඳුණු තැනකින් අත ඇතුළතට

දමා ලොක් එක ඇර කුස්සියට රිංගා ඇති බවට දැකගන්නට ලැබී තිබේ. පසුව කාන්තාව ගුරු දියණිය සමඟ 14 වැනිදා පෙරවරුවේ දේවාලේගම පොලිසියට පැමිණ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නිලධාරියාට පොල් ලී සොරකම සම්බන්ධයෙන් යළි මතක් කර සීනි සම්බෝල ඇතිළියට බත් දමා කා ගොස් ඇති අයුරුද සිහිපත් කර පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය පැවැසීය.

දමුණුපොළ – චමින්ද ජයලත්