නවසීලන්ත- ශ්‍රී  ලංකා වෙළෙඳ ආර්ථික සබඳතා නංවන්න ඇමැති තානාපති සාකච්ඡාවක්

0
13

ශ්‍රී  ලංකාව හා නවසීලන්තය අතර ද්විපාර්ශ්වීය වෙළෙඳ හා ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලෙටන් (Michael Appleton) සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු අතර හමුවක් පෙරේදා (13දා) පවත්වා ඇත.

ශ්‍රී  ලංකාවේ ආහාර අර්බුදය විසඳීම සඳහා දේශීය නිෂ්පාදන ධාරිතාව වැඩි කළ යුතු බව ඇමැතිවරයා පවසා තිබේ.

යෝජිත ශ්‍රී  ලංකා නවසීලන්ත වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වූ අතර ශ්‍රී  ලංකාව මේ වන විටත් එම ගිවිසුමේ ඉදිරි කටයුතුවලට සූදානම් වෙමින් සිටින බවද වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී  ලංකාව නවසීලන්තයට අපනයනය කරන භාණ්ඩ අතුරින් ශ්‍රී  ලංකාවේ තේ ප්‍රධාන තැනක් ගන්නා බවත්, එය ලංකාවේ අපනයනවල මුළු වටිනාකමින් සියයට 30ක්  බවත්, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර ඇත.

එමෙන්ම නවසීලන්තයේ සිට මෙරටට සංචාරකයන් පැමිණීම හරහා ශ්‍රී  ලංකාවට විදේශ විනිමය ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.  

සඳුනි ගමාරච්චි