ජිනීවා  යෝජනා පරදවන්න නම් ඉන්දියාවේ සහාය අනිවාර්යයි

0
282

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී  ලංකාවට විරුද්ධව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා ජයග්‍රහණය කිරීමට නම් ලංකාව ඉන්දියාවේ සහාය අනිවාර්යයෙන්ම ලබාගත යුතුව ඇති බව මෙරට මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවැසීය.  මෙම යෝජනාව සම්බන්ධයෙන් රටවල් 47ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බවත් ඉන් රටවල් 23ක හෝ 24ක සහාය ලබා ගැනීමට නොහැකි වුවහොත් එම යෝජනාවලින් ශ්‍රී  ලංකාව පරාජයට පත්වනු ඇති බවද ඒ මහතා පැවැසීය.

එසේ ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම ඉන්දියාවේ සහාය හිමිවිය යුතුව ඇති බවත් යම් හෙයකින් ඉන්දියාව ශ්‍රී  ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුනහොත් ඉන්දියාවේ හිත දිනාගෙන සිටින බටහිර රටවල් කිහිපයක් හා දකුණු අප්‍රිකානු රටවල් මෙන්ම කැරබියන් රටවල් ඇතුළු රටවල් 10ක පමණ සහාය ලබා ගැනීමට ශ්‍රී  ලංකාවට හැකිවනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය. එසේ සහාය ලබා නොදී ඉන්දියාව නිහඬව සිටියහොත් ශ්‍රී   ලංකාව එම යෝජනාවලින් පරාජයට පත්වනු ඇති බවද ඒ මහතා පැවැසීය.

ශ්‍රී  ලංකාවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනා ලබන ඔක්තෝබර් මස 6 හෝ 7 ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඒ මහතා පැවැසීය.

බටහිර ජාතීන්ගේ වුවමනාවන්ට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙම යෝජනා ගෙන එනු ලබන බවද ඒ මහතා පැවැසීය.

ශ්‍රී  ලංකාවට එරෙහිව පියවර ගැනීමේ අරමුණ ඇතිව ජිනීවාවල මෙම කොමිසම පැවැත්වෙන බව පෙනෙන්නට තිබෙන බවත් රටක් විදිහට ශ්‍රී  ලංකාව තනි කරමින් මේ ආකාරයට කටයුතු කිරීම වැරදි ක්‍රියාවක් බවද ඒ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වගකීම රටක මානව හිමිකම් වර්ධනය කිරීම හා ඒ සඳහා මූලික වශයෙන් ක්‍රියා කිරීම මිස මෙවැනි යෝජනා ගෙනැවිත් එම රටවල්වලට එරෙහිව ක්‍රියා කිරීම නොවන බවද ඒ මහතා පැවැසීය.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා අයවලුන්ගේ වුවමනා එපාකම් අනුව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මේ ආකාරයට ශ්‍රී  ලංකාවට එරෙහිව ක්‍රියා කරන බවද එම සංවිධාන කොතෙක් නිදහස් කළත් ඊළම දිනාගැනීම වෙනුවෙන් ඔවුන් සටන් කරන බව පෙනෙන්නට තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

කුමුදු උපුල් ශාන්ත