ජාතික යන්තේ‍රා්පකරණ ආයතන සේවකයන්ගේ අගෝස්තු වැටුප තාම නෑ

0
10

රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට අනුයුක්ත ජාතික යන්තේ‍රා්පකරණ ආයතනයේ සමස්ත සේවකයන්ගේ අගෝස්තු  මස වැටුප මෙතෙක් නොගෙවීමෙන් සේවකයන් අන්ත අසරණ තත්ත්වයට පත්වී ඇතැයි වාර්තා වෙයි.

 අගෝස්තු මස 24 වැනිදා වනවිට එම මස වැටුප ගෙවිය අතර එය මෙතෙක් නොගෙවීමෙන් රට පුරා පිහිටි ශාඛාවල සේවයේ  නිරත සමස්ත සේවකයන් 190ක් පමණ අපහසුතාවට පත්ව සිටින බව සේවකයෝ පවසති.

වැටුප් නැතත් දිනපතා සතියේ වැඩ කරන දිනවල උදේ පැමිණීම හා සවස පිටවීම නිසි ලෙසට සිදුවනවාද යන්න පිළිබඳව අධීක්ෂණය කරන්නට නිලධාරීන් සිටින නමුත් වැටුප් ලබාදීම ගැන කිසිවකුත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන්නේ යැයි සේවකයෝ කියති. ප්‍රවාහන ගාස්තු මෙන්ම ඉන්ධන මිලද අහස උසට ගොස් ඇති සමයක සේවකයන්ට දෛනිකව රැකියාවට වාර්තා කිරීමද විශාල ගැටලුවක් යැයි  ඔවුහු පවසති.

 වැටුප ඇපයට තබා බැංකුවෙන් ලබා ගෙන ඇති ණය වාරික නියමිත දිනයට නොගෙවීමෙන් ණය වාරිකයට අමතරව දඩ මුදලක්ද ගෙවීමට  සිදුවන  අතර මෙම ණය මුදල ලබා ගැනීමට ඇප වූ වෙනත් ආයතනවල  ඇපකරුවන්ගේ වැටුප පවා අත්හිටුවන අවදානමක් පැන නැඟී ඇතැයිද සේවකයෝ  මැසිවිලි නඟති.

මෙතෙක් කලක් මෙම ආයතනයේ සිටි සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරිවරයා මේ වනවිට ඉවත්ව ගොස් ඇති බැවින් වගකිවයුත්තකු නොමැති ආයතනයක් බවට පත්වී ඇතැයි සේවකයෝ පවසති.

මෙවැනි තත්ත්වයක් මත සේවකයන් සේවයට කැඳවූවද වැටුප් ගෙවීමට නොහැකි නම් ආයතනයේ සම්පත් විකුණා වන්දියක් ලබාදී ආයතනය අෑවර කරන්නට හෝ රජයේ අවධානය යොමු විය යුතු යැයිද සේවකයෝ වැඩිදුරටත්  අවධාරණය කරති.

ආයතන භූමිවල අව්වට, වැස්සට දිරාපත් වෙමින් තිබෙන වටිනා බරවාහන යන්තේ‍රා්පකරණ පිළිබඳව සොයා බැලීමට කිසිම පාලකයකු පියවර ගෙන නැතැයිද ජාතික සම්පත් කැලෑවටම දිරා මලකඩ කෑ පසු යකඩවලට විකුණා දැමීමට සිදුවන බවද සේවකයෝ පවසති.

වනජීවී අංශ වෙතින් ගෙවීමට නියමිත මුදලක් ලබාගෙන සමස්ත සේවකයන්ට හිමි අගෝස්තු   මස වැටුපෙන් භාගයක් පමණක් ගෙවීමට පාලනාධිකාරිය  මේ වනවිට  සැලසුම් කර ඇතත් එම චෙක්පත කවදා ලැබේවිද යන්න දින නියමයක් නොමැති බැවින් එකී අඩ වැටුප ගැනීමද අවිනිශ්චිත  යැයි සේවකයෝ  සඳහන් කරති.

මෙම කරුණ සම්බන්ධයෙන් එම ආයතනයේ ගණකාධිකාරිවරිය වූ එම්.පී. ද සිල්වා මහත්මියගෙන් දුරකථනය ඔස්සේ විමසූ අතර ඇය මෙසේ කීවාය.

“අපි  වැටුප් ගෙවීම්

පැහැර හැරලා නෑ. ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑමක් ඇතිවී තිබෙන නිසා අපේ යන්තේ‍රා්පකරණවලට ඉල්ලුම අඩුවෙලා. ඒ නිසා ආයතනයේ ආදායම් අඩුයි. කඩිනමින්ම අපි සේවකයන්ගේ අගෝස්තු මස  වැටුප් ගෙවන්න පියවර ගන්නවා” යැයි කීවාය.

කැලණිය – කුසුම් එස්. හැන්නදි