ගෑස් එද්දී පිටි නෑ බේකරි හිමියෝ යළිත් අනාථයි

0
14

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි හිඟයක් පවතින බවත්  තිරිඟු පිටි විධිමත් අයුරින් නිකුත් නොකිරීම නිසා බේකරි හිමියන් ගැටලු රැසකට ලක්ව ඇති බවත් දකුණු පළාතේ බේකරි හිමියෝ පවසති.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 300 දක්වා වැඩි වී ඇති බව පවසන බේකරි හිමියෝ තිරිඟු පිටි  සීමාකොට නිකුත් කිරීම නිසා මේ වනවිට බේකරි කර්මාන්තය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බවද  පවසති.

දකුණු පළාත් කුඩා හා මධ්‍යම පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. 

“පසුගිය කාලයේ ගෑස්. ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැතිවීම නිසා බේකරි කර්මාන්තය කඩාගෙන වැටිලා තිබුණේ.   ඒත්  දැන් ගෑස් ටික ඉන්ධන යම්තාක් දුරට ලැබෙන විට මෙකී කර්මාන්තය කරගෙන යන්න අත්‍යවශම අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි වෙළෙඳපොළේ නැහැ. ඇමරිකන් පිටි නැති නිසා ඉන්දියාවෙන් තිරිඟු පිටි ගෙන්වලා තියෙනවා. ඒත් තිරිඟු පිටි විධිමත් ආකාරයට ගන්න තැනක් නෑ. කළු කඩයෙන් තමයි ගන්න වෙලා තියෙන්නේ. ඉන්දියානු පිටි කිලෝව රුපියල් 300 දක්වා ඉහළ ගිහින්. මේ නිසා බේකරි නිෂ්පාදනවලත් මිලත් ඉහළ ගිහින්.

බේකරි කෑම මිල ඉහළ යෑම නිසා  පිටි කෑම සඳහා තියෙන ඉල්ලුම අඩු වෙලා. බේකරි කර්මාන්තය නැවත කඩාගෙන වැටීමේ  තත්ත්වයක්  නිර්මාණය වෙලා තියෙනවා.  මේ නිසා බේකරි කර්මාන්තයේ නිරත විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා” යැයිද කමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල – කමල් විජේහේවා