කොතරම් ඉල්ලුවත් නොලැබෙන බස් එකක්

0
8

තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ පොද්දල්ගොඩ හීල්ඔය වසමේ හීල්ඔය මංසන්ධියේ සිට වටගල ස්ටෝරු භූමිය දක්වා  බී ශේ්‍රණියේ බස් රථයක් ධාවනයට අවසර ලබාදෙන ලෙස හීල්ඔය අවට ගම්මාන රැසක ජනතාවක් කාලෙක සිට කරන ඉල්ලීමට මෙතෙක් බලධාරීන්ගේ අනුමැතිය හා අවසර ලබා නොදීම නිසා  එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම  ප්‍රදේශවාසීහු පවසති.

මෙම මාර්ගය පිළිසකර කිරිම සඳහා රුපියල් මිලියන ගණනක මුදලක් වැයකර  ඇතැත්  එහි  අවදානම් ස්ථාන ගැමියන් දින දෙකක් තුළදී ශ්‍රමදාන මඟින් පිළිසකර කළ බව හීල්ඔය ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති  ඒ.එම්. අනුර බණ්ඩාර මහතා  ‘මව්බිම’ට පැවැසීය.

මෙම මාර්ගය මීට වසර තුනකට පෙර කිලෝමීටර් දෙකක පමණ නව මාර්ගය කාපට් කර පිළිසකර කර ඇත.

එහෙත් එම කොටසේ  අවසානය දක්වා දැනට ධාවනය වන බස් සේවය දීර්ඝ කරන ලෙස  ඉල්ලීම් රැසක් කළ බව සභාපතිවරයා පැවැසීය.

මේ පිළිබඳව කුණ්ඩසාලේ විධායක ඉන්ජිනේරුවරයාට, තෙල්දෙණිය ශ්‍රී ලංගම ඩිපෝ කළමනාකාරවරයාට, ලිපි මඟින් ඉල්ලීම් රැසක් කළ බව ග්‍රාම සේවා සමිතියේ සභාපතිවරයා වැඩිදුරටත් ‘මව්බිම’ ට පැවැසීය.

දැනට ධාවනය වන ශ්‍රී  ලංගම බස් රථය හීල්ඔය ගම ආරම්භ වන ස්ථානයට පමණක් ධාවනය වන බවත් ගම්වාසීන් විශාල පිරිසක් පදිංචිව සිටින්නේ හීල්ඔය මැද කොටස,  උඩ කොටස, වටගල කොටස, පහළ හීල්ඔය වත්ත, දිගන කැලේවත්ත යනාදී ප්‍රදේශවල බවත්   ප්‍රදේශවාසීහු පවසති.

එම නිසා දැනට හීල්ඔයට ධාවනය වන ශ්‍රී ලංගම බස් රථ සේවය ගමේ අවසන් කොටස දක්වා දීර්ඝ කරන ලෙස ගැමියෝ කාලයක සිට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලති.

මෙම ඉල්ලීම්වලට මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නැතැයි මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභික සෙනරත් බණ්ඩාර මහතා ‘මව්බිම’ පැවැසීය.

මෙම මාර්ගයේ අවසන්  කොටසේ  විවිධ වගා කරන හා ස්වයං රැකියා ව්‍යාපෘතිවල නිරත ජනතාවගේ විවිධ නිෂ්පාදන ප්‍රවහනය කිරීම හා පාසල් ළමයින්ගේ යහපත පිණිස මෙම බස් සේවය හීල්ඔය වටගල ස්ටෝරු භූමිය දක්වා සැතපුම් දෙකක  මාර්ගයේ  අවසානය දක්වා බස් සේවය දීර්ඝ කර ධාවනය කරන ලෙස එම ජනතාව බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

තෙල්දෙණිය – කේ. නිශ්ශංක