කුරුණෑගල වගේම අනාරක්‍ෂිත බෝක්කුවක් මඩගල්ලෙත්!

0
19

කුරුණෑගල ප්‍රදේශයේ අනාරක්ෂිත වළකට වැටී පාසල් සිසුවකු ඉකුත් දා මරණයට පත්වූ අතර මෙවැනිම මාරක වළක් පොල්පිතිගම බල ප්‍රදේශයේ ජනාකීර්ණ පෙදෙසක තිබේ. ඉබ්බාගමුව – මඩගල්ල ප්‍රධාන මාවත අයිනේ මඩගල්ල ඇඟලුම්හල ඉදිරිපිට අමුණුකොළේ ග්‍රාමයට හැරෙන පාර මැද තිබෙන මේ බෝක්කුව කැඩී සෑහෙන කාලයක් ගතවෙයි. අවස්ථා කිහිපයකදීම පොල්පිතිගම ප්‍රාදේශීය සභාවට මේ සම්බන්ධව දන්වා ඇතත් මෙතෙක් එය යථා තත්ත්වයට පත්කර නැතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති

ඇඟලුම්හලේ සේවකයන් ගමන් ගන්නා බස් රථ 20ක් නවතා ඇත්තේ මේ සීමාවේය. මේ නිසා එහි ගමන් ගන්නා සේවක, සේවිකාවන් බස් රථවලින් බැස සේවයට එන්නේ හා සේවයෙන් මිදී බස් රථවලට ගොඩවන්නේද මේ මාරකය අතරින්ය.

එමෙන්ම අමුණුකොළේ ග්‍රාමය හරහා අවට ගම්මාන රැසකට යා යුත්තේද මේ අවදානම අතරින් බැවින් දන්නා වාහන හිමියන් කෙසේ හෝ මාරකයෙන් බේරී යන නමුත් ඒ පිළිබඳව වැටහීමක් නැති වාහන හිමියන් බොහොමයක් මේ වළට වැටී අවස්ථා කිහිපයකදීම අනතුරු සිදු වී ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති.

ඒ පිළිබඳව පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්ලිව්.ජී. නිශාන්ත කුමාර මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“මේ ගැන දැනුවත් කර ඇතත් ප්‍රතිපාදන නැති නිසා තමයි යථා තත්ත්වයට පත් කිරීම පමා වුණේ. කෙසේ වෙතත්  අබලන් බෝක්කුව ගලවා ඉවත් කර අලුතින් බෝක්කුවක් දමා දීමට වහාම පියවර ගන්නවා” යැයි ඒ මහතා පැවැසීය.

පොල්පිතිගම – නන්දන කැලේගම