ක්‍රීඩාව උපරිම මට්ටමකට ගන්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දැවැන්ත මෙහෙයුමක

0
9

ශ්‍රී  ලංකා ඉතිහාසයේ මුල් වරට ඒකාබද්ධ ජාතික ක්‍රීඩා සැලැස්මක් සැකසීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව

වාර්තා වේ. ඒ අනුව ක්‍රීඩාවට සෘජුවම සම්බන්ධ ආයතන ලෙස පවත්නා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික ක්‍රීා සභාව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා සංගම් හා සම්මේලන, පළාත් සභා, ත්‍රිවිධ හමුදා හා පොලිසිය, ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, යන ආයතනයන්හි සහභාගිත්වයෙන් අද (15දා) ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී එක්බද්ධ හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සඳහන්ය.

එමෙන්ම මෙම ආයතන සියල්ල ඒකාබද්ධ කරමින් ජාතික ක්‍රීඩා සැලැස්මක් සකස් කිරීම මෙම විශේෂ හමුවෙහි අරමුණ බව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබූ නිවේදනයක වැඩිදුරටත් දක්වා තිබිණි.

මෙම කරුණ වෙනුවෙන් වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් මෙමඟින් ගම් මට්ටමින් ක්‍රීඩාවට දක්ෂ දරුවන් හඳුනාගැනීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතාවන්ට අනුව උපරිම තලයට යෑමට අවශ්‍ය ශක්තිය ලබාදීමත් අරමුණු කර ඇති බවද එහි සඳහන්ය.

එසේම අදාළ සාකච්ඡාවේදී රටක් ලෙස ක්‍රීඩා ආර්ථිකයකට යොමු වීමේ වැදගත්කම, වෘත්තීයමය ක්‍රීඩකයකු බිහි කිරීමේදී ඔවුන්ට හිමිවන ප්‍රතිලාභ මෙන්ම කාලීන අවශ්‍යතා ද හඳුනා ගනිමින් එය ජාතික සැලැස්ම සඳහා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇති බවද දක්වා ඇත.

ශ්‍රී  ලංකාව තුළ ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන් 14500කට ආසන්න පිරිසක් සේවය කළද ඊට අමතරව ක්‍රීඩාවට සම්බන්ධ ආයතන හා විවිධ අංශ ගණනාවක් සිය සෘජු දායකත්වය ලබා දුන්න ද මෙම ආයතන අතර අන්තර් සම්බන්ධතාව නොතිබීම හේතුවෙන් මෙතෙක් කලක් ක්‍රීඩාවේ නිසි නියාමනයක් සිදු නොවූ බව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කර තිබූ නිවේදනයේ දක්වා තිබිණි. එපමණක් නොව මෙම තත්ත්වය මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද දැඩි අපහසුතාවට මුහුණදුන් බවත් ක්‍රීඩාවේ යම් පසුබෑමක් ඇති වීමට මෙයද හේතුවක්ව ඇති බවත් එහි දක්වා තිබිණි.

එසේම ගම් මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට අපහසු වීම, ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා රැගෙන යෑමට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම, විවිධ හේතුන් දුෂ්කරතාවයන් නිසා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාව අතරමඟ නවතා දැමීම ද සිදුවේ. මෙවැනි කනගාටුදායක තත්ත්වයන්ට ද ප්‍රධාන හේතුවක් ලෙස ක්‍රීඩාවට සම්බන්ධ සහ වගකිවයුතු ආයතන කිසිවක් එකිනෙකා සමඟින් අන්තර් සම්බන්ධතා නොපැවැැත්වීම හා ජාතික සැලස්මක් නොමැති වීම හඳුනාගෙන ඇති බවද සඳහන්ය.