කළුකඩවලින් පාන්පිටි මිලට අරන් ලාබෙට කෙටි කෑම විකුණන්න බෑ

0
22

මෙරට තිරිඟු පිටි බෙදාහරින ප්‍රධාන සමාගම් දෙක විසින් තම කර්මාන්තයට අවශ්‍ය පිටි තොග ප්‍රමාණවත් පරිදි නිකුත් නොකිරීම හමුවේ තමන්ට පෞද්ගලික වෙළෙඳසල්වලින් වැඩි මිලට තිරිඟු පිටි මිලදී ගැනීමට සිදු වී ඇති නිසා ග්‍රෑම් 450ක පාන් ගෙඩිය ඇතුළු අනෙකුත් කෙටි කෑම මිල විවිධ මිල ගණන් යටතේ වැඩි කිරීමට සිදු වූ බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ බේකරි හිමියෝ පවසති.

තිරිඟු පිටි බෙදා හරින ප්‍රධාන සමාගම් දෙක විසින් රට පුරා පිහිටි ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් වෙත තිරිඟු පිටි තොග ඉල්ලුමට සරිලන පරිදි නිකුත් නොකරන නිසා එම අලෙවි නියෝජිතයන්ද තමන් වෙත ඉතා සීමිත පිටි ප්‍රමාණයක් නිකුත් කිරීම හමුවේ බේකරි අවශ්‍යතාවට තොග වෙළෙන්ඳුන්ගෙන් පිටි මිල දී ගැනීමට සිදු වී ඇති බව බේකරි හිමියෝ කියති.

වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝ 50ක් සහිත බෑගයක් රු. 18,000 සිට 20,000 වැනි උපරිම තොග මිලකට අලෙවි වන බවත් එම වෙළෙඳුන් පිටි තොග රැස් කර වෙළෙඳපොළේ තිරිගු පිටි හිඟයක් පවතින අවස්ථාවේ මෙසේ වැඩි මිලට අලෙවි කරන බවටත් බේකරි හිමියන් චෝදනා කරති.

තිරිඟු පිටි සඳහා පාලන මිලක් පනවා නොතිබීම හමුවේ තොග වෙළෙඳුන් විසින් විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි අලෙවි කරන නිසා තමන්ට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රු. 300 – 320ත් වැනි මිලකටත් බනිස් ගෙඩියක් රු. 110, මාළු පාන් ගෙඩියක් රු. 140 ඇතුළු කෙටි කෑම මිලද විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට සිදුවන බවද බේකරි හිමියෝ පවසති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තයේ විශාල පිරිසක් නියැළී සිටියද තිරිඟු පිටි මිල වැඩි වීම සහ බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය   මිල ඉහළ යෑම හමුවේ මේ වනවිට විශාල පිරිසක් එම කර්මාන්තයෙන් ඉවත් වී ඇති බවත්, මෙසේ පාන් ඇතුළු අනකුත් කෑම වර්ගවල මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයන් එම නිෂ්පාදන මිලදී නොගැනීම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බව හැටන් ආපනශාලා සහ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ෆසිර් මොහොමඩ් පැවැසීය.

මේ අතර තමන් දිනකට තේ වත්තේ වැඩ කර රු. 1000ක වැටුපක් ලබා ගන්නා බවත් එම වැටුපෙන් තම නිවෙසට අවශ්‍ය තිරිඟු පිටි කිලෝවක් හෝ පාන් ගෙඩියක් මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇති නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති බව වතු කම්කරුවෝ කියති.

තේ වත්තේ වැඩ කරන තමන් දිනකට වේල් දෙකක්ම රොටි ඇතුළු තිරිඟු පිටි ආශි්‍රත ආහාර අනුභව කරන බවත් එම තම රැකියාව කරගෙන යෑමට පහසු නිසා තිරිඟු පිටි ආශි්‍රත ආහාරවලට තම ජනතාව කාලයක් තිස්සේ පුරුදු වී සිටින බව වතු කම්කරුවෝ කියති.

වතුකරයේ ජීවත් වන ජනතාව රොටියක් සහ පොල් සම්බෝලයකින් උදෑසන සහ දිවා ආහාරය සපයා ගන්නා බවත් එසේ පිළියෙල කරන ආහාර තම දරුවන්ටද ලබාදෙන බවත් වතු කම්කරුවෝ කියා සිටිති.

මිල අධික වුවද වෙළෙඳපොළේ තිරිඟු පිටි මිලදී ගැනීමට නොමැති බවත් පවසන වතු කම්කරුවෝ ජීවන වියදම ඉහළ යෑම හමුවේ තමන්ට වේල් තුනම බත් කෑමට නොහැකි බවද පවසති.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි