‘කපුටු කාක්’ හෝන් නඩුවෙන් නීතිවේදියා නිදහස්

0
14

පුද්ගලයකුට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමේදී නීතිය පිළිබඳව හරියාකාරයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නඩු ගොනු කරන ලෙස කොටුව පොලිසියට අවවාද කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එම්. ප්‍රභාකරන් මහතා ඊයේ (14දා) “කපුටු කාක් කාක්” යන ලෙසට තම මෝටර් රථයේ සවි කර තිබූ නළාව හැඬවීම කළේ යැයි පොලිසිය විසින් නඩුවක් ගොනු කර තිබූ සැකකාර නීතිඥවරයකු එම නඩුවෙන් මුදාහැරීමට නියෝග කර සිටියේය.

ජන අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලුමුව‍ෙදාර පිටියේ පැවැති සැමරුමකදී ‘කපුටු කාක් කාක්” යන ලෙසට තම මෝටර් රථයේ සවි කර තිබූ නළාව හැ¼ඩවීම කළේ යැයි පොලිසිය විසින් නඩුවක් ගොනු කර තිබූ සැකකාර නීතිඥවරයකු එම නඩුවෙන් මුදාහැරීමට නියෝග කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙලෙස පොලිසිය වෙත අවවාද කර සිටියේය.

දුෂ්මන්ත වීරරත්න නමැති නීතිඥවරයකු මෙලෙස එම නඩුවෙන් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා එහිදී නියම කළේය.

සැකකාර නීතිඥවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

රටේ ජනතාවට රජයට එරෙහිව යම්කිසි අවස්ථාවකදී විරෝධය දැක්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම සලසා දී ඇති බවත් ඒ අනුව තම සේවාදායකයා එදින ගාලුමුව‍ෙදාර පිටියේ පැවැති සැමරුමකදී සිය මෝටර් රථයේ නළාව එලෙස ශබ්ද නඟා ඇත්තේ අරගලකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද පොලිසියේ අත්තනෝමතික ක්‍රියාවට විරෝධය පෑමක් ලෙසින් බවත් ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියහ.

පොලිසිය මෙලෙස නළා හඬ නැඟුවා යැයි තම සේවාදායකයාට එරෙහිව නඩු පැවැරීම මඟින් ජනඝෝෂා නඩුවේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් තහවුරු කර තිබෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පොලිසිය විසින් උල්ලංඝනය කර ඇති බවට එහිදී වැඩිදුරටත් ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

එසේම වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන අයද විපක්ෂයේ සිටියදී පැවැති රජයන්ට එරෙහිව එලෙස විරෝධතා පා ඇති බවට ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.  

හංසි නානායක්කාර