එකවර තුන් මසකට බෙහෙත් ගේන්න සෞඛ්‍ය ඇමැතිගෙන් උපදෙස්

0
314

මෙරටට අවශ්‍ය ඔෟෂධ ඇණවුම් කිරීමේදී මාසයක් වෙනුවට එකවර මාස තුනක් සඳහා ඇණවුම් ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල අදාළ අංශ වෙත ඊයේ (14දා) උපදෙස් දී ඇත. මෙමඟින් ඉදිරියේදී ඇති විය හැකි ඔෟෂධ හා වෛද්‍ය උපකරණවල හිඟය අවම කර කර ගැනීමට හැකිවනු ඇතැයි රඹුක්වැල්ල මහතා පවසා ඇත. ඉදිරි වකවානුව සඳහා වන ඔෟෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (14දා) පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමතරව මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ඔෟෂධ සැපයුම්කරුවෝ පිරිසක්ද එක්ව සිටියහ. මෙහිදී ඉන්දියානු ණය ආධාර වැඩසටහන (Indian Credit Line) සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා උපරිම ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

මෙම වැඩපිළිවෙළට අදාළ කටයුතු ලබන මස මැද වන විට අවසන් කිරීමට හැකි හැකිවනු ඇතැයි අදාළ නිලධාරීන් මෙහිදී ඇමැතිවරයාට පෙන්වා දුන් අතර ඒ අනුව රටට වඩා ඵලදායි අයුරින් එම ආධාර වැඩසටහන උපරිම වශයෙන් යෙදවීමට අවශ්‍ය  සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමැතිවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද ආසියානු යටිතල පහසුකම් සම්බන්ධ ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank) හා  එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය ‐ UNOPS (United Nations office for Project Services) ආධාර වැඩපිළිවෙළවල් යටතේ ඉදිරි මාස 06ක් සඳහා මෙරටට අවශ්‍ය ඔෟෂධ හා වෛද්‍ය උපකරණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට ඩොලරයේ අගය 80%කින් පමණ ඉහළ යෑම මත භාණ්ඩාගාර වෙන්කරගැනීම් ප්‍රමාදයකින් තොරව වෙන්කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ඇමැතිවරයා උපදෙස් දුන්නේය. ඉන්දියානු ණය ආධාර  වැඩපිළිවෙළ අවසන් වුවද ඔෟෂධ සැපයීමේ වැඩපිළිවෙළ අඩපණ නොවී ඉදිරියට කරගෙන යා යුතු බවත් ඒ සඳහා ලැබීමට නියමිත අනෙකුත් පරිත්‍යාග හා ණය ආධාර වැඩපිළිවෙළවල් වඩා කාර්යක්ෂමතාවකින් යුතුව ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙසද හෙතෙම පැවැසීය. මේ යටතේ චීන ආධාර වැඩ සටහනේ දෙවන අදියර, ලෝක බැංකුව ආධාර, AIA ඇතුළු ආධාර ලබා ගැනීමේ වැඩපිළිවෙළවල් සඳහා වන ක්‍රියාවලීන් වඩා කඩිනම් කිරීමට පියවර ගතයුතු යැයිද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජේ.ටී. ද සිල්වා