අලුත් පක්ෂ සහ දේශපාලන මඩම්!

0
257

“මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.” කියා කතාවක් තිබේ. නමුත් ලෝකෙම මළගෙයක් වී තිබියදී දේශපාලන සටකපටකම් සහ නොසණ්ඩාලකම් කරන උන්ව දමන්නට ඉතිහාසයේ කුණුබක්කිය ප්‍රමාණවත් නැත.

දෙවසරකට වැඩි කලක සිට හිතුවක්කාරී ආණ්ඩුව ගත් නොමනා තීන්දු නිසා මේ මොහොතේ රටම ඉන්නේ උන්හිටිතැන් අමතකවය. එදා වේල තබා සතියකින් දෙකකින් හරිහමන් දෙයක් නොකෑ දහස් ගාණක් මේ රටේ සිටී.

වෙල් අලකොළ පුච්චා දරුවන්ට කන්න දුන් මවුපියන් මේ රටේ සිටී. අන්ත දිළින්දාගේ සිට යමක් කමක් තිබූ අය පවා සිටින්නේ කරකියා ගන්නට දෙයක් නැතිවය.

ඒ අතරේ නාමල් රාජපක්ෂලා ‘අලුත් පක්ෂයක්’ හදන්න සූදානම් වෙයි.

බණ්ඩාරනායක අගමැතිවරයා 1959 සැප්තැම්බර් 28 වැනිදා නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම සඳහා යෑමට සූදානමින් සිටියේ වැඩබලන අගමැතිකමට සී.පී. ද සිල්වා පත් කරලාය. නමුත් කැබිනට්ටුවේදී වස කලවම් කළ බීම වීදුරුවක් පානය කිරීම හේතුකොටගෙන සී.පී. ද සිල්වාට ලන්ඩන්හි රෝහල් ගත වෙන්නට සිදුවිය.

ඒ නිසා බණ්ඩාරනායකට සිදුවුණේ විජයානන්ද දහනායකව වැඩබලන අගමැති කරන්නටය.

ආපසු ලංකාවට පැමිණෙන තෙක් වැඩ බලන අගමැති තනතුර දහනායකට පවරන ලෙස අගමැති බණ්ඩාරනායක සර් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාරවරයාට ලිපියක් මඟින් දන්වා තිබිණි. එහෙත් බණ්ඩාරනායකට නිව්යෝර්ක් ගමන යෑමට නොහැකි වූයේ 1959 සැප්තැම්බර් 26 වැනිදා ඔහු වෙඩි තබා ඝාතනය කළ නිසාය.

වැඩබලන අගමැතිව සිටි විජයානන්ද දහනායකට අගමැති වීමේ පින පෑදුණේ එහෙමය.

විජයානන්ද දහනායක යනු අමුතු පන්නයේ දේශපාලනඥයෙකි. එක් පැත්තකින් ඔහු අමුතුම ජෝක් එකකි. තවත් පැත්තකින් ඔහු හිතුමනාපෙට වැඩ කරන දේශපාලන හිතුවක්කාරයෙකි.

දහනායකගේ වාසගමට ‘‍ෙදාන්’ කොටසක් තිබිණි. දේශපාලන ගාය නිසා ඔහු ‘‍ෙදාන්’ කෑල්ල ගලවා දැමීය. 1939දී දේශපාලනයට පිවිස මුලින්ම ගාල්ලේ නගරාධිපති තනතුරට පත් වුණේ එහෙමය. රාජපක්ෂලාද තම දේශපාලන  වුවමනාවන් වෙනුවෙන්  නම්වලින් ‘‍ෙදාන්’ කොටස හැලූහ. ‍ෙදාන් නම් ‍ෙදාන්, සිමන් නම් සිමන් ‍ෙදාන් සිමන් දෙකම බෑ යැයි කියමනක්ද ඇත.

දේශපාලනයේ විවිධ කඳවුරු නියෝජනය කළ දහනායක අන්තිමේට තමන්ගේම කියා පක්ෂයක් හදා ගත්තේය. ඔහුට ඕන වුණේ තමන්ගෙ නම මොනතරම් ජනතාව අතර තියෙනවද කියා දැනගන්නට. ඔහු විශ්වාස කළේ ඔහු හදන හදන පක්ෂය පිටුපස ජනතාව එයි කියලාය.

“මහ මැතිවරණය සඳහා දහනායක මහතා අලුත්ම පක්ෂයක් පිහිටුවා ගත්තේය. එහි නම වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. සමහරු ඊට “ලංකා පිස්තෝල පක්ෂය” කියා නමක්ද පටබැන්‍ෙදා්ය. බොහෝදෙනකුගේ අදහස වූයේ අලුත් පක්ෂය නිකම්ම නිකං විහිළුවක් බවය. එහෙත් දහනායක මහතා එසේ සිතුවේ නැත.

 “බ්‍රැඩ්මන් මට බෑ මෙහෙම මේ කරච්චල්කාරයොත් එක්ක අගමැතිකම් කරන්න. ඒ නිසා අලුත් පක්ෂයක් තුළින්ම බලය ලබා ගැනීමට තීරණය කළා” යි දහනායක මහතා කීය.

කඩිමුඩියේ ආසන 99කට අපේක්ෂකයන් සොයන්නට වීම දහනායක මහතා ඉදිරියේ වූ ලොකු අභියෝගයක් විය. ඒ කඩිමුඩියේ වුවද අපේක්ෂකයන් කිහිපදෙනකුද අල්ලා ගැනීමට ඔහු සමත් විය. අක්මීමන සේනපාල සමරසේකර සහ නින්තවූර් මුස්තාපා එයින් කිහිපදෙනකි.

එහෙත් අන්තිමේදී වූයේ කුමක්ද? ඉදිරිපත් කළ

අපේක්ෂකයන් අසූ අටකගේම ඇප රාජසන්තක වී දහනායක මහතාද ගාලු අසුනෙන් පරාද විය.

මෙහෙම ලියා ඇත්තේ “අගමැතිවරුන් හත් දෙනකු සමඟ බ්‍රැඩ්මන් වීරකෝන් කියයි ගුණදාස ලියනගේ ලියයි” නමැති කෘතියේය.”

මේ කතාව දැක්කම මතක් වෙන්නෙ නාමල්ලා හදන්න යන  අලුත්ම පක්ෂයය. මහින්ද රාජපක්ෂ මුල්කරගත් අලුත් පක්ෂයක් ඔහු හදන්න යන බව කියැවෙයි.

අරුම පුදුම විහිළු මේවාය.

මේ රටේ විවිධ ප්‍රතිපත්ති මත දේශපාලන පක්ෂ ගොඩනැඟී තිබුණත් ඒ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව යථාර්ථයක් වී නැත. ආණ්ඩුවේ මහජන නියෝජිතයන් යනු හුදෙක් බලය ලබන පාර්ශ්වය තුළ සිග්නල් කණු බවට පත්වී ඇති අතර සාමූහිකත්වය යන වචනයට මුවා වී ඔවුන් සිය ජාගර අවස්ථාවාදී දේශපාලනයෙහි යෙදෙති.

සාමාන්‍යයෙන් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සිදු කරන්නේ ව්‍යවස්ථා සම්පාදන කාර්යයට දායකවීමය. එහෙත් එවන් වගකීම් සහගහන කාර්යකදී පවා මහජන නියෝජිතයන් මොනතරම් නිවටව සහ ප්‍රතිපත්තියකින් තොරව හැසිරුණාද යන්න ගැන ඕනෑතරම් සාක්ෂි තිබේ.

 එකිනෙකට පරස්පර 17, 18, 19, 20 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරටම අත ඉස්සූ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිති.

    01. අනුර ප්‍රියදර්ශන යාපා

    02. මහින්ද යාපා අබේවර්ධන

    03. ඩලස් අලහප්පෙරුම

    04. මහින්දානන්ද අලුත්ගමගේ

    05. නිමල් සිරිපාල ද සිල්වා

    06 ඩග්ලස් දේවානන්දා

    07. දුමින්ද දිසානායක

    08. එස්.බී. දිසානායක

    09. ජොන්ස්ටන් ප්‍රනාන්දු

    10. බන්දුල ගුණවර්ධන

    11. දිනේෂ් ගුණවර්ධන

    12. ප්‍රියංකර ජයරත්න

    13. ගාමිණී ලොකුගේ

    14. ඩිලාන් පෙරේරා

    15. සුසිල් ප්‍රේමජයන්ත

    16. චමල් රාජපක්ෂ

    17. කෙහෙළිය රඹුක්වැල්ල

    18. මහින්ද සමරසිංහ (මෑතදී ඉල්ලා අස්විය)

    19. ජෝන් සෙනෙවිරත්න

    20. රංජිත් සියඹලාපිටිය

    21. ජනක බණ්ඩාර තෙන්නකෝන්

    22. පවිත්‍රාදේවි වන්නිආරච්චි

    23. ජී.එල්. පීරිස්

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දාය.

ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම මේ යටතේ සිදු විය. එය මෙරට දේශපාලන ඉතිහාසයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රිවරුන් සියලුදෙනාගේ ඒකමතික අනුමැතියෙන් සම්මත වූ එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

ඉහත කණ්ඩායම ඊට ද අත් එසවූහ.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2010 සැප්තැම්බර් 8දාය. එමඟින් ජනාධිපති ධුරයට තරග කිරීමේ වාර ගණන සම්බන්ධයෙන් කලින් තිබූ දෙවරක් පමණයි සීමාව ඉවත් කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන ලදී. ඇතැම් පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ යම් බාධක ඉවත් කොට විධායක ජනාධිපති බලතල දැඩිව ශක්තිමත් කරන ලදහ.

ඉහත කණ්ඩායම ඊට ද අත් එසවූහ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2015 අප්‍රේල් 25දාය. එක් පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරීමට ඇති හැකියාව දෙවතාවකට සීමා කරන ලදී. ජනාධිපතිගේ ධුර කාලය කලින් අවුරුදු හයේ සිට අවුරුදු පහකට අඩු කෙරිණි. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය සීමා කිරීම යනාදිය ඒ අතර විය.

ඉහත කණ්ඩායම ඊට ද අත් එසවූහ.

21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන මින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය බලතල තවත් වැඩි කර ගත්තේය. ඉහත මන්ත්‍රිවරුන්ගෙන් වැඩි පිරිසක් ඊට ද අත් එසවූහ.

අපේ රටේ සිටින්නේ එවැනි දේශපාලකයන්ය.

මේ රටේ බොහෝ විට දේශපාලන පක්ෂ බිහිවෙන්නේ අවස්ථාවාදය වෙනුවෙනි. දේශපාලනික වශයෙන් කුදු වූ දේශපාලනඥයෝ විස්වාස කරන්නේ ජනතාවද කුදු වී ඇතැයි කියාය.

නාමල්, හිතන්නේ එහෙමය.

නාමල්ලා තවදුරටත් කල්පනා කරමින් සිටින්නේ මේ රටේ අලුත් පරම්පරාව දේශපාලන චරිත වන්දනාවේ යෙදෙනවා කියාය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ ඔවුන්ගේම ‘බාප්පී’ විසින් එය හමාර කිරීමය. 69

ලක්ෂයක ජනතා වරම ගෝල්ෆේස් වටා එක්වුණු තරුණ බලවේගයක් විසින් ආපසු හරවා දැමුවේ බිත්තර කට්ටක් කුඩු වෙන ගානටය.

නාමල්ල විශ්වාස කරන්නේ තවදුරටත් ‘වලව්වක අභිෂේකයකින්’ පවුලේම කෙනෙක් රජකිරීමට ජනතාව සිටිනවා කියාය.

ඒ දේශපාලන රටාව අද සුන් වී හමාරය.

එජාපය ආරම්භ වන්නේ 46 සැප්තැම්බර් 6දාය. එජාපයෙන් වෙන් වූ බණ්ඩාරනායක 51 සැප්: 2දා ශ්‍රීලනිපය ආරම්භ කළේය. ඒ එජාපය බිහිකොට වසර 5ට  පස්සේය.

ශ්‍රීලනිපයෙන් වෙන් වී පොදුජන පෙරමුණ බිහිවන්නේ 2015 අගදීය. එජාපයෙන් වෙන්වූ සමගි ජන බලවේගය බිහිවන්නේ පොහොට්ටුව බිහිවී වසර 5ට පස්සේය.

එහෙම බැලුවම දෛවය පුදුමාකාර විදිහට කැරකේ.

පැරණිතම දේශපාලන පක්ෂ දෙකක් වෙනුවට අලුත්ම දේශපාලන පක්ෂ දෙකක් බිහිවන්නේ එහෙමය.

ශ්‍රීලනිපයේ තීරණාත්මක බිඳී යෑම පොහොට්ටුව බිහි වීමෙන් නවතින අතර එජාපයේ තීරණාත්මක බිදී යෑම සමගි ජන බලවේගය බිහිවීමෙන් නැවතිණි.

අද අර පරණ පක්ෂ දෙකම අලුත් පක්ෂ දෙකට යටවෙලා ඉවරය.

ඒ විතරක් නෙවේ, අද ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම අලුත්ය. මේක ලෝක ඉතිහාසයේම අලුත් තත්ත්වයක්ය.

පොහොට්ටුව බිහිවෙන්නේ, මෛත්‍රිපාල ශ්‍රීලනිපය එජාපයට පාවා දුන්නාය කියාය. සමගි ජන බලවේගය බිහිවන්නේ, ජනතාව ඉල්ලන නායකයාට එජාප නායකයා අවස්ථාව නොදීමෙහි ප්‍රතිඵලයක් විදිහටය.

එහෙම නැතිව හිතුමනාපෙට දේශපාලන පක්ෂ පිටුපස යන්නට ජනතාව සූදානම් නැත.

රාජපක්ෂලාගේ දේශපාලන ඉරණම් කතාව වට කිහිපයක් තුළ අවසන්ව තිබේ. එහෙත් නාමල්ලා අලුත් වටයක් ආරම්භ කරන්න කැස කවමින් සිටී.

ඊට උත්තේජනය දෙන්නේ රනිල්ලාය. සමහරවිට එජාපය පොහොට්ටුව එකට එක්වී තරග කළත්  එන මැතිවරණය පරාජය වන එක වළක්වන්න අමාරුය. එය සංඛ්‍යා විද්‍යාත්මක නියතයකි. එවිට තවත් කොහෙන් හෝ ඡන්ද ටිකක් එකතු කරගෙන ජාමේ බේරාගන්නට උත්සාහ කරන එක ඔවුන්ගේ දේශපාලන උප්පරවැට්ටියක් විය හැකිය.

ඒ කොටස නාමල්ලා හරහා සොයා ගන්නට උත්සාහ කරනවා වෙන්නත් බැරි නැත.

එහෙත්, සාම්ප්‍රදායික දේශපාලනය කුඩුපට්ටම් වී ඇති මේ වකවානුවේදී තවදුරටත් නාමල්ලාගේ දේශපාලනයට පැවැත්මක් තියෙනවා නම් ඒක ලෝක පුදුමයකි.

මේඝනාද