අපේ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට නම් ජාතික සැලැස්මක් ඕනෑ

0
29

ශ්‍රී  ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රය සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමින් පසුගියදා ජනාධිපතිවරයා පැවැසීය.

කෘෂිකර්මාන්තය නවීකරණය තුළින්

නිෂ්පාදනය සහ තරගකාරිත්වය ඉහළ නංවා ගනිමින් විදේශ විනිමය ඉපැයිය හැකි

ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත්කර ගත යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ගෝලීය ආහාර අර්බුදය හමුවේ ශ්‍රී  ලංකාව මුහුණ දී ඇති ආහාර ගැටලුව විස¼දා ගැනීමට සැලසුම්සහගතව හා සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා රජයේ නව වැඩසටහන සමඟ සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවද සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

හැම කෙනාටම ජීවත් වෙන්න අවශ්‍ය ආහාර අප ලබා දිය යුතුයි. අපේ ආර්ථිකය 7%ක සෘණ මට්ටමක තිබෙන්නේ. ආර්ථිකය හැකිළුණු විට ජනතාවගේ ආදායම අඩු වෙනවා. එවිට ඒ අයට ජීවත් වෙන්න මාර්ගයක් නැති වෙනවා.

අද ඉදිකිරීම් අංශයේ විශාල විරැකියාවක් තිබෙනවා. ආණ්ඩුව නැවත මුදල් ලබාගෙන ඉදිරියට එනතුරු මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා.

අද රටේ කොටසක් ඉන්නවා ආහාර නැතිව. මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම නැතිවෙලා. මේ ප්‍රශ්නයට අපිට ලබන වසරේදීත් මුහුණ දෙන්න වෙනවා. එම තත්ත්වය තවත් උග්‍ර වෙලා තිබෙන්නේ අද ලෝකයේ තිබෙන ආහාර අර්බුදය නිසාය.

යුක්රේනයේ යුද්ධය නිසා අපට අවශ්‍ය තිරිඟු ලැබෙන්නේ නැහැ. සමහර විට ඕස්ට්‍රේලියාවේ මෙවර අස්වැන්න හොඳ වෙන්න පුළුවන්. නමුත් එය ප්‍රමාණවත් නැහැ.

අනිත් පැත්තෙන් පාකිස්තානයේ ජල ගැලීම් නිසා ආහාර වගාව නැතිවෙලා. ගෝලීය ආහාර වෙළෙඳපොළේ ආහාර හිඟයක් ඇති වෙලා. මිල වැඩි වෙනවා. එය ලංකාව වගේ කුඩා රටවලට බලපානවා. ඉන්දියාව ආහාර අපනයනය කරන එක නවත්තලා.

චීනයත් අඩු කරලා. මේ තත්ත්වය මේ දෙසැම්බර් මාසයේදී අවසන් වන්නේ නැහැ. එය අවුරුදු දෙකක් වෙන්නන් පුළුවන්.

මේ ප්‍රශ්න දෙක නිසා විශාල ආහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ එක්කම තෙල් මිල දැන් අඩු වුණාට සීත කාලය ආ විට මෙය වැඩි වෙනවා. මෙවැනි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එම නිසා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආහාර අපි නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ.

දැන් මහ කන්නය පටන්ගෙන තිබෙනවා. අපි පොහොර ලබා ගැනීමට දැනට ඩොලර් මිලියන 200ක් විතර සොයාගෙන තිබෙනවා. ඒ සඳහා තව ඩොලර් මිලියන 200ක් විතර සොයන්න වෙනවා.

දැන් අපි කටයුතු කරමින් සිටින්නේ ඉන්ධන ලබාගැනීමට. සමහර තැන්වල බීජ හිඟයක් තිබෙනවා. තායිලන්තය වැනි රටවලින් අවශ්‍ය බීජ ලබාගැනීමට සාකච්ඡා කරගෙන යනවා.

මොනවාද රටට ඕන, කොහොමද අතිරික්තයක් අති නොකර මේ වැඩපිළිවෙළ කරගෙන යන්නේ කියලා බලන්න ඕනෑ.

මොකද විශාල අතිරික්තයක් ඇති වුණොත් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා. අවශ්‍ය ආහාර කොහොමද ලබා ගන්නේ කියලා ජාතික සැලැස්මක් ඇතිකරන්න ඕනෑ. ඒක පළාත්,  දිස්ත්‍රික්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කළ යුතුයි. ඒ සඳහා සියලු දෙනා එකට වැඩ කළ යුතුයි.

ආණ්ඩුවේ බලය තිබෙන්නේ විධායකයකට. පළාත් සභාවේ බලය තිබෙන්නේ ජනාධිපතිට. දැන් පළාත් සභා නැහැ. මේ අංශ 03ම එකට එක්කරගෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ බලතල තිබෙනවා.

ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුනුත්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒ පණිවුඩයම තමන්ගේ මට්ටමේ ඉන්න අයට දෙන්න ඕනෑ. කවුරුත් දිසා ලේකම්වරු ඇවිල්ලා කියන්න එපා අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න බැරි වුණා කියලා.

ඒක ආරම්භයේදීම කියලා ලබන සිකුරාදාම මේ අය සමඟ සාකච්ඡාවක් පවත්වලා කියන්න කොහොමද වැඩ කරන්නේ. කොහොමද සැලැස්ම හදන්නේ කියලා. එතැන සිට යන්නේ කොට්ඨාසයට, කොට්ඨාස මට්ටමින් සෑම කෙනෙක්ම එක් කරගෙන නිෂ්පාදනයට යොදවන්න.

නිලධාරි මට්ටමින් නිලධාරීන් පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා එක් කරගන්න. අවශ්‍ය නම් විදුහල්පතිවරුනුත් එක් කරගන්න. මේ සියලු දෙනා එක් කරගනිමින් වගා ව්‍යාපාරයට යන්න. සැලැස්ම අනුව තීරණය කරන්න මොකක්ද කරන්නේ කියලා.

ග්‍රාම නිලධාරි කොට්ඨාසය පළමු වතාවට පරිපාලනයට පමණක් නොවේ නිෂ්පාදනයටත් යොදවනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් එම නිෂ්පාදනයට එක් වෙනවා. දැන් මෙතැනින් මේ වැඩසටහන ආරම්භ කරන්න.

දෙවැනුව තිබෙන්නේ අස්වැන්න එකතු කරන එකත්, නාස්තිය අඩු කරගන්න එකත්, ඒ පිළිබඳව මේ නිලධාරීන් දැනුවත් කරනවා. ඒ සදහා අවශ්‍ය සහායත් ලබාදිය හැකියි. නාස්තිය 10% – 25%කින් අඩු කරගත්තොත් අපි සාර්ථකයි.

ඊළඟට ගබඩා කිරීම, ඊළඟට සැපයීම ඒ ක්‍රමවේදය ගැන අපි දැනුවත් කරන්නම්. ප්‍රධාන සමාගම් කිහිපයක් එතැනට එකතු කරගන්න පුළුවන්. මේකට පෞද්ගලික අංශයේ සහායත් ලබාගත යුතුයි.

අපි ඉතා සාර්ථක මහ කන්නයක් කළහොත් අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න එක මාර්ගයක් වෙනවා. සාර්ථක යල කන්නයක් ඊළඟට තිබෙනවා. නම් ලබන වසරේ ආර්ථික නිෂ්පාදනය වැඩි වෙනවා.

ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න ඕනෑ. පාඩු ලබන සමහර රජයේ ව්‍යාපාර රජයෙන් ඉවත් කරලා ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි. ඒ මුදල් සියල්ලම අපි ඩොලර්වලින් ගන්නේ. ඒ සියල්ල අරගෙන සංචිතයක දානවා. මේ විදිහට ඩොලර් බිලියන 03ක් හොයාගන්න පුළුවන් නම් ලබන වසර වන විට රුපියල ශක්තිමත් වෙනවා. මේ විදිහට කළොත් අපිට ඉදිරියට යන්න පුළුවන්.

ඊළඟට යන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට. කෘෂි නිෂ්පාදන වැඩි කරන්න. තරගකාරීත්වය වැඩි කරන්න කටයුතු කරනවා. 2023 අවසන් වෙනකොට අපි නවීකරණ වැඩසටහනට යා යුතුයි. අපි කෘෂිකර්මාන්තයෙන් විදේශ විනිමය උපයාගත යුතුයි. තේ, පොල්, රබර් පමණක් නෙවෙයි 2050 වන විට අපේ ජනගහනය මිලියන 25යි

වැඩිහිටි ප්‍රමාණය වැඩියි.

ඒ වගේම දිස්ත්‍රික් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

අද මේ රටේ කුඩා කර්මාන්ත ක්ෂේත්‍රයේත් කඩාවැටීමක් තිබෙනවා. බැංකු ණය

ගෙවාගන්න බැරිව විශාල ගැටලුවක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. ප්‍රශ්න විසඳන්නේ නැත්නම් විශාල කැලඹීමක ඇති වෙනවා. ගම් මට්ටමින් ප්‍රශ්න විසඳෙනවා නම් ඊළඟ වසර 25ට අවශ්‍ය ආර්ථිකයේ පසුබිම සැකසෙනවා.

මේ වැඩපිළිවෙළට ඔබ සියලු දෙනාගේ සහාය ලබා දෙන්න කඩිනමින් ආරම්භ කරන්න. අවශ්‍ය පරිපාලන ආයතන සියල්ල අගමැතිතුමා යටතේ තිබෙන්නේ. මේ පිළිබඳ අවධානය යොමු කරලා අඩුපාඩු මඟහරවාගෙන ඉදිරියට යන්න. මෙය සාර්ථක කරගැනීමට ඔබ සියලු දෙනා කැපවෙන්න. ඔක්තෝබර් පළමු සතිය වන විට ආරම්භ කරලා ඉදිරියට ගෙනයමු. ලංකාවේ ආහාර ප්‍රශ්නය විසඳලා ආර්ථිකයේ වෙනසක් ඇති කරන්න ඔබ සියලු දෙනාගේ සහාය ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා.

සඳුනි ගමාරච්චි