‘කපුටු කාක්’ හෝන් ගැසූ නීතිඥයා නිදහස්: “නීතිය නොදත්” කොටුව පොලිසියට දැඩි අවවාද

0
590

ගාලු මුවදොර පිටියේ පැවති සැමරුමකදී තමන් සිටි මෝටර් රථයේ සවි කර තිබූ නළාව “කපුටු කාක් කාක්” යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ සැකකාර නීතිඥවරයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.එම්. ප්‍රභාකරන් අද (සැප්. 14) නියෝග කර තිබේ.

යම් පුද්ගලයෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමේදී නිසි පරිදි නීතිය පිළිබඳව අධ්‍යයන කිරීමෙන් අනතුරුව නඩු පවරන ලෙස කොටුව පොලිසියට එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩිව අවවාද කර ඇත.

අදාළ නීතිඥවරයා ගාලු මුවදොර පිටියේදී සිය මෝටර් රථයේ නළාව ශබ්ද කර ඇත්තේ, අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් පොලිසිය ක්‍රියාත්මක කරන අයුතුසහගත ක්‍රියාදාමයට විරෝධය පෑම සඳහා බව ත් එලෙස රටේ ජනතාවට රජයකට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම තහවුරු කර ඇති බව ත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා මෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විපක්ෂයේ සිටියදී පැවති රජයන්ට එලෙස විරෝධතා පා ඇති බව ද අධිකරණයට පෙන්වා දී ඇති විත්තියේ නීතිඥවරුන් පොලිසිය සැකකාර නීතිඥවරයාට එරෙහිව නළා හඬවා බාධා කළේ යැයි චෝදනා කරමින් නඩු පැවරීමෙන් ජන ඝෝෂා නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම පොලිසිය උල්ලංඝණය කර ඇතැයි අධිකරණයට පෙන්වා දී ඇත.

ජන අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලු මුවදොර පිටියේ පැවති සැමරුමකදී තමන් සිටි මෝටර් රථයේ සවි කර තිබූ නළාව “කපුටු කාක් කාක්” යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ අදාළ නීතිඥවරයාට එරෙහිව නඩු පවරා තිබිණි.