JICA-UNDP වෙතින් මහ කන්නෙට බඩඉරිඟු බීජ ටොන් 200ක්

0
31

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව මහ කන්නයේ බඩඉරිඟු වගාව නැංවීමට බඩඉරිඟු බීජ මෙටි්‍රක් ටොන් 200ක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 15,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා  ඩොලර් මිලියන 1.8ක් වටිනා හයිබි්‍රඩ් බඩඉරිඟු බීජ මෙටි්‍රක් ටොන්  200ක් ලබාදීමට ඊයේ (13දා)  එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන්  සහයෝගය පළ කිරීමේ සාකච්ඡාවක් පැවැති අතර, එම අවස්ථාවේදී  මෙම එකඟතාවය පළ කර ඇත.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් පසුගිය මාස් කන්නයේ බඩඉරිඟු නිෂ්පාදනය මෙටි්‍රක් ටොන්  90,000ක් දක්වා පහත වැටුණු අතර, මෙවර යල කන්නයේ බඩඉරිඟු අස්වැන්න 60%කින් පහත වැටී තිබෙන බවද අමාත්‍යාංශය පෙන්වාදී තිබේ.

මෙම හේතුවෙන් ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට හා පෝෂණ තත්ත්වයන් කඩා වැටීමේ අවදානමක් ඇතැයිද සඳහන් කර ඇත.

ගොවිජන  සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේ වනවිට බඩඉරිඟු වගාව සඳහා ලියාපදිංචි වී ඇති ඉඩම් ප්‍රමාණය  හෙක්ටයාර 1,25,000ක් වන අතර දැනට රට තුළ පවතින්නේ හෙක්ටයාර 50,000කට අවශ්‍ය ප්‍රමාණයක් බවද සඳහන් වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව බීජ හෙක්ටයාර 10,000කට ප්‍රමාණවත්  පරිදි තිබෙන අතර, මෙම ආධාර සමඟ හෙක්ටයාර් 75,000ක් බඩඉරිඟු වගා කිරීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම ඇමැතිවරයා පවසා ඇත.

ඉතිරි හෙක්ටයාර් 50,000ට අවශ්‍ය බීජ සපයා ගැනීම සඳහා මේ වනවිටත් විවිධ ආයතන සමඟ සාකච්ඡා අරඹා ඇතැයිද ඔහු සඳහන්  කර තිබේ.

මේ තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී   ලංකාවට වඩා කාර්යක්ෂම හා විනිවිද භාවයෙන් යුක්තව මෙම ආධාර ලබාදීමට පියවර ගන්නා බව එහිදී UNDP කාර්යාල මණ්ඩල ප්‍රධානි මලින් හ්ර්විග් (Malin Herwig) ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම ශ්‍රී  ලංකාවේ වියළි කලාපයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට නියමිත කාලය තුළම මෙම බඩඉරිඟු බීජ ලබාදීමට පියවර ගන්නා බව ඇය සඳහන් කර තිබේ.

පශු සම්පත් හා සත්ත්ව නිෂ්පාදන දාමය බඩඉරිඟු හිඟය නිසා බිඳී ගොස් ඇති  නිසා JICA සහ UNDP එක්ව  මෙරට  ජනතාවගේ පෝෂණ තත්ත්වයන් ඉහළ නැංවීමට මෙම බීජ බඩඉරිඟු ලබාදෙන බව JICA ආයතනයේ මෙරට  නියෝජිත යාමදා ටෙසුවා (Yamada Tetsuya) පවසා තිබේ.

නිර්මාණි ගුණරත්න