HNBA අලෙවි සම්මාන උළෙල – 2021 අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

0
15

HNB ඇෂුවරන්ස් PLC HNBA සමාගම විසින් පවත්වනු ලබන උත්සව අතරින් වඩාත් ආකර්ෂණයට ලක් වී ඇති අලෙවි බළකාය ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයේ 2021 වසරට අදාළ සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. මෙවර සම්මාන උළෙලෙහිදී 2021 වර්ෂය තුළ කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කරමින් ඉහළම දස්කම් දැක්වූ අලෙවි බළකායේ සාමාජික, සාමාජිකාවන් ඇගයීමට ලක් වූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස HNBA සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ HNBA සහ HNBGI යන ආයතන ද්විත්වයේ සභාපතිනිය වන රෝස් කුරේ මහත්මිය ප්‍රකාශ කළේ, “අද රාත්‍රිය පෞද්ගලිකව වගේම කණ්ඩායමක් වශයෙනුත් ඔබගේ කැපී පෙනෙන සාර්ථකත්වය ඇගයීමට ලක්වන රාත්‍රියක්” පසුගිය කාලය තුළ අප මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකදීම ඊට සාර්ථකව මුහුණ දීම සඳහා ඔබගේ කැපවීමට හා නොපසුබස්නා උත්සාහයට ගෞරවය හා ප්‍රශංසාව පිරිනැමීමට මෙම සම්මාන උළෙල මඟින් අපි බලාපොරොත්තු වෙනවා.

වර්තමාන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් තුළ පවා අපගේ අලෙවි බළකාය ප්‍රදර්ශනය කර තිබෙන ස්ථාවරත්වය ප්‍රශංසනීයයි” යනුවෙනි.  2021 වසර තුළ HNBA විසින් සාක්ෂාත් කර ඇති වර්ධනය පිළිබඳව රෝස් කුරේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ මේ අයුරිනි. “අපගේ දළ ලිඛිත වාරිකයේ වාර්තා කළ 29%ක ආකර්ෂණීය වර්ධන වේගයත් සමඟ 2021 වසර තුළ අප වාර්තා කර ඇති ජයග්‍රහණ සුළුපටු නොවන බව පැවසීමට කැමැතියි.

HNBA රක්ෂණ උපදේශක අංශයේ ජයග්‍රහණ ගැන මම සැබවින්ම සතුටට පත්වෙනවා. ඒ වගේම අප සමාගම නවීන තාක්‍ෂණයෙන් සහ රක්ෂණ වෙළෙඳපොළ තුළ ඇති ආකර්ෂණීයම නිපැයුම්වලින් යුක්ත නිසා අනාගතයේදී මීටත් වඩා ඉහළ ජයග්‍රහණ අත්කර ගන්නා බවට කිසිදු සැකයක් නැහැ. අපි එක කණ්ඩායමක් විධියට කටයුතු කිරීම මෙම ජයග්‍රාහී ගමනේ දී ඉතා ඉහළ තලයකට අප සමාගම රැගෙන යනු ඇති බව මට විශ්වාසයි”

HNBA අලෙවි බළකායේ විශිෂ්ට දක්ෂතා පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලසිත විමලරත්න මහතා ප්‍රකාශ කළේ, “අපගේ රක්ෂණ උපදේශක අංශය 2021 වසරේදී වාර්තා කළ සමස්ත වර්ධනය වෙනුවෙන් සෑම රක්ෂණ උපදේශකවරයකුගේම කැපවීම ඉතා ඉහළ දායකත්වයක් ලබා දුන් බවත් අපගේ රක්ෂණ උපදේශක අංශයේ සාමාජිකයන්ගේ කණ්ඩායම් හැඟීම මෙතෙක් සමාගම වාර්තා කළ ස්ථාවරත්වයට සහ ජයග්‍රහණවලට බෙහෙවින් ඉවහල් වී ඇති බවත්  පැවසීමට කැමතියි. වර්තමානයේ පවතින අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වය තුළ පවා අපගේ අලෙවි බළකාය දැක්වූ සාර්ථකත්වය මඟින් ඔවුන් අති දක්ෂ වෘත්තිකයන් පිරිසක් බව නැවත වරක් ඔප්පු කර තිබෙනවා” යනුවෙනි.

“ලබාගත් ජයග්‍රහණ ඇගයීමට වගේම ඉදිරි වසරවලදීත් එය අඛණ්ඩව පවත්වා ගැනීමට අද රාත්‍රිය උත්තේජනයක් ලබා දෙනු ඇති බව මට විශ්වාසයි. පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් වෙහෙසෙන සමාගමක් විධියට ඔවුන්ගේ අවශ්‍යතාවලට උපරිමයෙන් විස¾දුම් ලබා දෙමින් උසස් ජීවිත රක්‍ෂණ සේවාවක් සහතික කිරීමට අපගේ අලෙවි බළකායේ වෘත්තීයමය ප්‍රමිතිය විශාල ශක්තියක් වුණු බව පැවසිය යුතුමයි. අද රාත්‍රියේ සමරනු ලබන මෙම ජයග්‍රහණයන් අනාගතයේ සුවිසල් ජයග්‍රහණ රැසක ආරම්භය වනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා. ඒ වගේම අපි අනාගතයේදී තව තවත් ශක්තිමත්ව ඉදිරියට යාමට සූදානම්.”

HNBA හි ප්‍රධාන ව්‍යාපාරික නිලධාරි / සාමාන්‍යාධිකාරි (බෙදාහැරීමේ අංශය) හරීන්ද්‍ර රාමසිංහ මහතා සිය අදහස් පළ කළේ මේ අයුරිනි. “HNBA සමාගමේ අලෙවි බළකායේ ආකර්ෂණීය ශක්තිය 2021 වසර තුළ ලබා ගත් මූල්‍ය ජයග්‍රහණවලින් මනාව පිළිබිඹු වනවා. HNBA සමාගමේ රක්ෂණ උපදේශක අංශය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නව වෙළෙඳපොළ කොටස් අත්පත් කර ගනිමින් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට සමත් වෙලා තිබෙනවා. අපි අපගේ අලෙවි අංශය වෙත නව සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් රට පුරා දියත් කළ වැඩසටහන් නිසා අපගේ අලෙවි බළකායේ වෘත්තීයමය බව සහ වර්ධනය ශක්තිමත් කිරීමට හැකි වුණා. එම නිසාම අපගේ අලෙවි බළකාය ඔවුන්ට හමුවන සෑම බාධකයක්ම ජය ගනිමින් ඉදිරියට යන බව මට විශ්වාසයි.”

HNBA අලෙවි සම්මාන 246ක් ලෝකඩ, රිදී, රන්, අධිරන් සහ විශිෂ්ටතා සම්මාන යන කාණ්ඩ යටතේ පිරිනැමුණු අතර හොඳම සේවා මධ්‍යස්ථානය, හොඳම කලාප කළමනාකරු හොඳම කණ්ඩායම් කළමනාකරු, හොඳම ප්‍රාදේශීය කාර්යාල කළමනාකරු සහ MDRT සුදුසුකම් ලැබූවන් යන අංශ යටතේ සම්මාන 71ක් මෙවර පිරිනැමිණි. 2021 අලෙවි විශිෂ්ටත්ව සම්මාන රාත්‍රියේදී “හොඳම රක්ෂණ උපදේශකවරිය” ට හිමි සුවිශේෂී සම්මානය ශි්‍රයා මලී ලියනගේ විසින් දිනා ගත්තාය.