එක් පාර්ශවයක් කුකුළු මස් මිල ඉහළ දමයි: තවත් ඉහළ යාමේ අවදානමක්

1
185

ඉදිරියේදී කුකුළු මස් මිල තවදුරට ත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර mawbima.lk වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විදුලි බිල, වතුර බිල ඉහළ යාම, යෝජිත බදු සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් කුකුළු මස් නිෂ්පාදන පිරිවැය මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ යමින් තිබෙන බව ය.

කුකුළු මස් කර්මාන්තය 40%කින් පමණ කඩා වැටී ඇති බව ත් ඉදිරියේදී එන උත්සව සමයේදී ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වුවහොත් වෙළෙඳපොළේ කුකුළු මස් හිඟයක් උදගත්විය හැකි බව ත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු පෙන්වා දුන්නේ, තම සංගමය කුකුළු මස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති වුව ද දෛනිකව කුකුළන් ලබා ගෙන මස් සඳහා අලෙවි කරන වෙළෙඳුන් කුකුළු මස් මිල ඉහළ දමා ඇති බව ය.

ඒ අනුව, කුකුළු මස් කිලෝවක මිල අද (සැප්. 14) සිට රු. 50කින් ඉහළ දැමීමට කොළඹ – බැස්ටියන් මාවත, කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති එම්.අයි.එම්. ඉක්බාර් සඳහන් කර ඇත්තේ, ඒත් සමග කුකුළු මස් කිලෝවක මිල රු. 1450ක් දක්වා ඉහළ යනු ඇති බව ය.

දැනට කුකුළු මස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සත්ව ආහාර හිඟය මග හරවා ගැනීම සඳහා තම සංගමය විසින් රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ බව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, යල කන්නයේ සහල් නිෂ්පාදනය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි ප්‍රමාණයකින් ලැබී ඇති බව ත් ඒ හේතුවෙන් මේ වන විට ඉන්දියාවෙන් ආනයනය කර ඇති සහල් සත්ව ආහාර සඳහා ලබා දෙන ලෙස තම සංගමය යෝජනා කළ බව ය.

“මහ ජනතාව හිතයි සත්තුන්ට අපි සහල් පාවිච්චි කරනවා කියලා. නමුත් අපි හාල් දීලා හදන්නෙත්, අත්‍යවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනයක් අඩු ම මිලට තියෙන ඒවා. බිත්තර සහ කුකුළු මස්. බිත්තර සහ කුකුළු මස් හදන්න සහල් දැම්මා කියලා ජනතාවට කලබල වෙන්න ඕනේ නැහැ. අපි දෙන්නේ උසස් ප්‍රෝටීන ආහාරයක් අඩු මිලට.”

එම සහල් මිල දී ගැනීම සඳහා තමන් සතුව මුදල් ඇති බව ත් එසේ ලබා දුන්නේ නම්, කුකුළු මස් නිෂ්පාදන වේගය වැඩි කළ හැකි බව ත් ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, එලෙස සහල් ලබා දෙන්නේ නම්, කුකුළු මස් මිල පවතින මිලෙහි ම පවත්වා ගැනීමට හැකි බව ය.

1 COMMENT

Comments are closed.