Bankers on Bicycles සමාරම්භක අදියර සඳහා ප්‍රධාන බැංකු ආයතන හතරක් එක්වෙය

0
13

DFCC බැංකුව හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව පසුගියදා Bankers on Bicycles වැඩසටහනේ සමාරම්භක අදියර වෙනුවෙන් සහභාගි විය. පාපැදි භාවිතය එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්කිරීම තුළින් වඩාත් තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන ලද්දේ පළමු වරටය. මෙම වැඩසටහන මාසිකව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වැඩසටහනට දායක වන බැංකු ආයතන එම වැඩසටහන්වල සත්කාරකත්වය දරනු ඇත.

මෙහි සමාරම්භක වැඩසටහන 2022 අගෝස්තු 06 දින පෙරවරු 6ට කොළඹ 03 පිහිටි DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ විය. දෙහිවල දක්වා ගමන් කර නැවත ආපසු පැමිණි මෙම පාපැදි සවාරිය සඳහා ඉහත සඳහන් බැංකු ආයතන හතර නියෝජනය කරමින් 150කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම වැඩසටහන මෙම බැංකු ආයතන හතරෙහි කාර්ය මණ්ඩලවල සියලුම දෙනා වෙනුවෙන් විවෘත වූ අතර ප්‍රධාන විධායක නිලධාරිවරුන්, ජේ‍යෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළුව සියලුම මට්ටම් නියෝජනය කරන පිරිසක් මහත් උනන්දුවකින් යුතුව ඊට එක් වූහ.

කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පාපැදි භාවිතයට අදාළ පහසුකම් සැපයීම සඳහා හැටන් නැෂනල් බැංකුව සම්පත් බැංකුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ DFCC බැංකුව මේ වනවිට සැලකිය යුතු මට්ටමේ ආයෝජනයන් සිදුකර තිබේ. Bankers on Bicycles වැඩසටහන් සඳහාද මෙම පහසුකම් සැපයීමට එම බැංකු ඉදිරිපත් වී සිටී. බයිසිකල් නැවැත්වීමේ පහසුකම්, පාපැදිවලට සේවා සපයන ස්ථාන හ¾දුන්වා දීම සහ පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීම යනාදිය මීට ඇතුළත්ය.

මෙම බැංකු ආයතන අතර ඇතිකරගෙන තිබෙන සහයෝගිත්වය පොදු අභියෝග ජයගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධ මනා උදාහරණයකි. ඉදිරියේදී තවත් බැංකු ආයතන මෙම වැඩසටහන සමඟ එක්වනු ඇතැයි Bankers on Bicycles සමඟ සම්බන්ධ වී සිටින මෙම බැංකු ආයතන අපේක්ෂා කරයි. ඒ ඔස්සේ මෙම වැඩසටහන දිවයින පුරාම වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කරමින් බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නිරත සේවක සේවිකාවන්ගේ නිරෝගී ජීවන රටාවක් ඇති කිරීම සඳහා කටයුතු කරනු ඇත.