ලක්‍ෂ 63ක් උග්‍ර ආහාර අහේනියක: ලෝක සංවිධාන දෙකක් යළි අනතුරු අඟවයි

0
126

ශ්‍රී ලංකාවේ ලක්ෂ 63ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණදෙන බව ත් ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවයි.

ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 50ක් පමණ පහත වැටීමත් විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය අඩුවීමත් මෙම තත්ත්වයට මූලිකව බලපා ඇතැයි එම සංවිධාන දෙක ‘ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තා මැයෙන් ඒකාබද්ධව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්වේ.

මේ නිසා මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවට පත්ව සිටින පවුල්වලට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත්‍රණ ද ඇතුළුව හදිසි ආධාර සහ ජීවනෝපාය වැඩසටහන් වහාම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි එහි නිර්දේශ කර ඇත.

වී අස්වැන්න අඩු වීමත් පවතින ආර්ථික අර්බුදයත් නිසා ආධාර ලබාදීමක් සිදු නොවුණහොත් ලබන ඔක්තෝබර් හා 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි එම වාර්තාවේ කරුණු සඳහන් වේ.

ආහාර සුරක්ෂිතතා තත්ත්ව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා සහ කෘෂිකාර්මික නිෂ්පාදනය යථා තත්ත්වයට පත්කිරීමට සහාය වීම පිණිස කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කර ගනිමින් ජීවනෝපාය ආධාර ලබා දීම ප්‍රමුඛතාවක් ලෙස සිදුකළ යුතු යැයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මෙම වාර්තාව නිකුත් කරමින් පැවසීය.

මාස ගණනක් තිස්සේ කඩාවැටෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ විකල්ප නැතිවෙමින් යද්දී බොහෝ පවුල් අසරණව ඇතැයි ද ජනගහනයෙන් පවුල් සියයට 60කට වඩා මිල අඩු පෝෂ්‍යදායී නොවන මෙන්ම ප්‍රමාණාත්මකව අඩු ආහාර වේලක් භුක්ති විඳින්නේ යැයි ලෝක ආහාර වැඩපිළිවෙළෙහි නියෝජිත සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්දිකී පැවසීය. මූල්‍ය බාධා හේතුවෙන් පාසල් දරුවන්ට, මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ක්‍රියාත්මක ආහාර වැඩසටහන් කප්පාදු කිරීමට රජයට සිදුවනු ඇතැයි ද එවැනි අවදානම් ප්‍රජාවන්ගේ පෝෂණය තවදුරටත් පිරිහී යාම වැළැක්වීම ලෝක ආහාර වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතාවක් යැයි ද සිද්දිකී මහතා පැවසීය.

එසේ ම, රටේ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය මේ වසරේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇතැයි ද පොහොර යෙදීම අඩුවීම ඊට හේතුව යැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පසුගිය ජූනි සහ ජූලි මාසවලදී මෙම ඒකාබද්ධ ආහාර බෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරුව කර ඇත්තේ රජයේ ඉල්ලීමකට අනුව ය.