සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පී අනුස්මරණ කෞතුකාගාරය ජනතා අයිතියට

0
37

පහතරට නර්තන කලාව ලොව පතළ කිරීමෙහිලා පුරෝගාමී සේවාවක් ඉටු කළ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හඳපාන්ගොඩ එන්.එන්. සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පියා වෙනුවෙන් ඉදිකළ අනුස්මරණ කලාගාරය සහ සංස්කෘතික කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදුවිය.

සේදරමන් මහතා විසින් සිදුකළ ජාතික හා ජාත්‍යන්තර මෙහෙවර ඇගයීමට  එය අනාගත පරපුර වෙත සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික උරුම, ප්‍රාසාංග හා කලා හා ග්‍රාමීය කලා ශිල්පී රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යොදවා සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පියාගේ නමින් මෙම කලාගාරය ඉදිකොට ඇත.

1936 වර්ෂයේ උපත ලැබූ සේදරමන් ප්‍රනාන්දු මහතා 1961 වර්ෂයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සංස්කෘතික කලා ප්‍රසංගයට සහභාගි වී අප රටට ගෞරවයක් ලබාදීමට සමත් විය. එඩින්බරෝ ආදිපාදතුමන් වෙතින් රන් පදක්කම් හිමිකර ගනිමින්ද, 1970 ඉන්දීය ජනාධිපතිතුමන් වෙතින් රන් කුසලාන හිමිකර ගනිමින්ද රටට ඉමහත් කීර්තියක් ලබාදුන් සේදරමන් මහතා 1994 වර්ෂයේදී කලාභූෂණ සම්මානයෙන්ද, 1999දී ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබ ඇත.

සේදරමන් ප්‍රනාන්දු මහතාගේ බිරිය හා දරුවන්ද, ඔහුගේ සමකාලීන කලාකරුවන්ද, අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක, හොරණ ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු කමල් පෙරේරා, හොරණ ප්‍රාදේශීය සභාවේ අශෝක රණතුංග, යන මහත්ම මහත්මීහුද හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සහ ඉංගිරිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාද හඳපාන්ගොඩ විදුහල ඇතුළුව අවට පාසල්වල විදුහල්පතිවරුන්ද, හොරණ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ඉංගිරිය – එන්.පී. කහවල