සෙලින්කෝ ලයිෆ් කිංග්ස් රෝහලේ කොටස්වල ආයෝජනය කරයි

0
56

සෙලින්කෝ ලයිෆ් සමාගම අති නවීන පෞද්ගලික රෝහලක් වන Kings Hospital (Private) Ltd සමාගමේ විශාල කොටස් ප්‍රමාණයක ආයෝජනය කරමින් ආකර්ෂණීය ව්‍යාපාරික ඒකාබද්ධතාවකට පැමිණ තිබේ. මෙම අයෝජනයත් සමඟ සමාගම සතු සෞඛ්‍ය අංශයේ කොටස කැපී පෙනෙන ලෙස ඉහළ යන අතර සමාගමේ ආයෝජන කලඹ වඩාත් විවිධාංගීකරණය වන බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි.

ඇඳන් 120කින් සමන්විත මෙම රෝහලේ කොටස් මිලදී ගනිමින් සිදුකළ මෙම උපාය මාර්ගික ආයෝජනය ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවදුරටත් පුළුල් කිරීමට අවකාශය තිබෙන බව සමාගම පවසයි. 

මෙම ආයෝජනයත් සමඟ කිංග්ස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමාගම සතු කොටස් ප්‍රමාණය අනුව සෙලින්කෝ ලයිෆ් සාමාජිකයන් ඉදිරියේදී පත්කරන අතර ඔවුන් විසින් මෙම රෝහලේ ඉදිරි අදියරේ වර්ධනය උත්තේජනය කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් සහ කිංග්ස් අතර ඇතිවී තිබෙන මෙම ව්‍යාපාරික ඒකාබද්ධතාවය තුළින් සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය වනු ඇති බවද සෙලින්කෝ ලයිෆ් ප්‍රකාශ කරයි.  

සමාගම අවතීර්ණ වී තිබෙන මෙම නවතම සංධිස්ථානය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. “ගෝලීය වශයෙන් ජීවිත රක්ෂණ සහ සෞඛ්‍ය සේවා දායකයන් උපාය මාර්ගික ඒකාබද්ධතාවන්ට එක්වී ප්‍රතිලාභ වර්ධනය කර ගනිමින් සිටිනවා. මෙම උපාය මාර්ගික ආයෝජනය මඟින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ට අමතර වටිනාකමක් ලැබෙනවා.”