සෙලාන් බෑන්ක් පීඑල්සී හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි ලෙස රමේෂ් ජයසේකර පත්කරයි

0
20

2022 සැප්තැම්බර් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙලාන් බෑන්ක් පීඑල්සී (Seylan Bank PLC) හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි ලෙස රමේෂ් ජයසේකර මහතා පත්කර තිබේ. මීට පෙර සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස කටයුතු කළ ඒ මහතා, 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී (Seylan Developments PLC) හි විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.

2011 වසරේදී ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස සෙලාන් බැංකුව සමඟ එක් වූ රමේෂ් ජයසේකර මහතා 2016 වසරේදී ප්‍රධාන අවදානම් නිලධාරි තනතුරට පත් වූ අතර, 2018 වසරේ සිට 2019 වසර දක්වා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ආයතනික) බැංකුකරණය තනතුර දැරීය. 2020 වසරේදී ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුර වෙත උසස්වීම් ලැබූ ඒ මහතා, 2021 වසරේදී ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස පත්කරන ලදී.

සෙලාන් බෑන්ක් පීල්සී සමඟ එක්වීමට පෙර ඒ මහතා බහරේනය පදනම් කරගත් ප්‍රධාන පෙළේ ප්‍රංශ බැංකුවක් වන BNP Paribas හි මැදපෙරදිග කලාපය (බහරේන්, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඩුබායි සහ සයිප්‍රස්) සඳහා නියෝජ්‍ය කලාපීය මූල්‍ය පාලක ලෙස සේවය කළේය. එමෙන්ම ඒ මහතා HSBC Sri Lankaහි නේවාසික කළමනාකරු (මූල්‍ය හා සැලසුම්) සහ KPMG Sri Lankaහි විගණන කළමනාකරු ලෙසද සේවය කර තිබේ. බැංකුකරණය, ක්‍රමෝපායික සැලසුම්කරණය, මූල්‍ය කළමනාකරණය, අවදානම් සහ විගණනය යනාදී ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් වසර 20කට අධික දේශීය හා ජාත්‍යන්තර පළපුරුද්දක් ඒ මහතා සතුය.

රමේෂ් ජයසේකර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සහකාර සාමාජිකයකු වන ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ සාමාජිකත්වයද දරයි.