සැලසුමක් නැතිව හදපු හසලක බස් නැවතුම්පොළ

0
15

රුපියල් ලක්ෂ දෙසීයකට අධික මුදලක් වැය කර ඉදිකළ හසලක බස් රථ නැවතුම්පොළ මගීන්ගේ අවශ්‍යතා ඉටු නොකරන ඔවුන් අපහසුතාවට පත්කරන  ස්ථානයක් බවට පත්ව ඇතැයි නගරවාසීහු චෝදනා කරති.

මිනිපේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි එච්.එම්. ජානක බණ්ඩාර හේරත් මහතා –

ග්‍රාම නිලධාරි වසම් 48ක ගම්මාන 138ක ජනතාවක් නියෝජනය කරන හසලක නගරය කරා සිය අවශ්‍යතා ඉටු කර ගැනීම අතිවිශාල ජනතාවක් නිතරම පැමිණීම සාමාන්‍ය තත්ත්වයක්. මෙලෙස පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සපුරාලීමට අදාළ පළාත් පාලන ආයතනය අපොහොසත් වීම හේතුවෙන් එම ජනතාව පසුගිය කාලයේ විවිධ අපහසුතාවට පත්ව සිටියා.

ජනතාව පත්ව සිටින මෙම අපහසුතාවෙන් ඔවුන් මුදාගෙන සහන සැලසීමේ අරමුණින් දේශපාලන අධිකාරියේ සහ නගරවාසීන්ගේ ඉල්ලීම් මත ඉකුත් යහපාලන රජය සමයේ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම නගරයද සංවර්ධනය කිරීමට පියවර ගත්තා.

හසලක බටහිරවරාගොල්ල ගමේ පදිංචි කේ.එච්.එම්. ඒකනායක මහතා –

ඉදිකළ නව බස් නැවතුම්පොළේ මගීන්ට වාඩිවීමට තරම් සුදුසු ආසන නෑ. කොන්ක්‍රීට් කණු කිහිපයක් ආසන බවට පත් කර තිබෙනවා. මෙහි වයසක අයකුට, රෝගියකුට, ගැබිනි මවකට හෝ කුඩා දරුවකු රැගත් මවකට වාඩිවී සිටීමට තරම් සුදුසු නෑ. කෙනකුට හේත්තු වී වාඩි වී සිටීමට පිටුපසට ඇන්දක්ද මේ බංකුවල නෑ.  අනෙක තමයි  පොළොව මට්ටමේ සිට අඩියක පමණ උසින් ගොඩනැඟිල්ල ඉදිකර තිබෙනවා. වයසක අයකුට, රෝගයකුට, ගැබිනි මවකට, හෝ කුඩා දරුවකු රැගත් මවකට හෝ ආබාධිතයකුට මෙම ගොඩනැඟිල්ලට පිවිසීම උගහටයි.

  රජයේ බොහෝ ආයතනවලට හෝ ගොඩනැඟිලිවලට ආබාධිතයන්ට ගමන් කිරීම සඳහා සුදුසු පිවිසුම් මාර්ගයක් ඉදිකර තිබුණත් මේ ගොඩනැඟිල්ලට එවැනි පිවිසුමක් ඉදිකිරීමට තරම් සැලසුම්කරුවන් කටයුතු නොකිරීම නිසා එවැනි අය පැමිණි විට වෙනත් අයකුගේ සහාය ලබා ගැනීමට සිදුව තිබෙනවා. ගොඩනැඟිල්ල වටා ආරක්ෂක වැටක් නෑ. අනෙක තමයි ගොඩනැඟිල්ලේ කොන් දෙකේ පමණක් පඩිපෙළ හතරක් ඉදිකර ඇති අතර බස් රථයක් ගොඩනැඟිල්ල මධ්‍යයේ නතර කළ විට මගියාට වට රවුමකින් එම රථය කරා ගමන් කිරීමට සිදුව තිබෙනවා.

ඇතැම් විට කඩිනමින් රථය කරා ගමන් කළහොත් මගියා ගොඩනැඟිල්ලෙන් ඇදවැටී අනතුරක් වීමට ඇති ඉඩ බොහෝයි. මෙම නව ගොඩනැඟිල්ල අසල ඇති පැරණි ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ කොටස රාත්‍රි කාලයේ අපචාර සිදුවන ස්ථානයක් බවට නගරවාසීන් අතර ප්‍රකටයි.

මෙම බස් රථ නැවතුම්පොළ ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සංගමය විසින් භාවිතයට ගන්නවා. එම නිසා බස් මගියා පත්ව ඇති මෙම අපහසුතාවෙන් මුදා ගැනීමට මෙම ආයතන දෙකෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස අප ඉල්ලා සිටිනවා.

හසලක – සුනිල් ඉහළගෙදර