සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කථානායකගෙන් තවත් උත්සාහයක්

0
37

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් හමු වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ගැන  සාකච්ඡා කර තිබේ.

එමෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සහ 22 වැනි සංශෝධනය පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන්  සහ ජේ‍යෂ්ඨ වැඩසටහන් නිලධාරිනි ලෝරන්ස් මර්සාල් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ  සාකච්ඡා කර තිබේ.

මහජන සහභාගිත්වය සහිත ශක්තිමත් ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ඇතුළු ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව විසින්  මෑතකාලීනව ගත් වඩාත් සාධනීය පියවරයන් පිළිබඳව මෙහිදී කථානායකවරයා මාර්ටින් චොන්ගොන් මහතාට කරුණු පැහැදිලි  කර ඇත.

ජාතික අවශ්‍යතා සඳහා ප්‍රතිපත්තිමය සහ  ප්‍රමුඛත්වය ලබාදිය යුතු කරුණු කෙරෙහි මඟපෙන්වීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු  ජාතික සභාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බවද මෙහිදී කථානායකවරයා පවසා ඇත.

ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් ගන්නා උත්සාහයද  අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගේ  පැසසුමට ලක්ව ඇති අතර ජාතික දේශපාලනික කරුණුවලදී තරුණ ප්‍රජාවගේ, කාන්තාවන්ගේ සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්ද සහභාගි කරවා ගැනීමේ වැදගත්කම මාර්ටින් චොන්ගොන් මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

මහා බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු ක්‍රමයට සමාන විනිවිදභාවයකින් යුත් ශක්තිමත් මාධ්‍ය ආවරණයක් සහිතව පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල්වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක  මෙහිදී ප්‍රකාශ කර ඇත.

එම අදහස අනුමත කරමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවත් නිවැරදි තොරතුරු එලෙසින්ම මහජනතාවට සමීප කිරීමට  ජනමාධ්‍ය  වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා නිරතුරුව එක්ව කටයුතු කරන බවටද ඔහු සහතික වී ඇත.

අනුරාධා හේරත් , සඳූනි ගමාරච්චි