සරත් කොතලාවල-කුමාර තිරිමාදුරට “හොඳම නළුවා”ට හිමි සම්මානය

0
363

රුසියාවේ ටටස්ථාන් ජනරජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේ (Kazan International Muslim Fim Festival) 18 වැනි අදියර පෞරාණික කසාන් නුවර පිරමීඩ්  සංකීර්ණයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාවිය. එහිදී කාන්, ලන්ඩන්, බූසාන් ආදී ලෝ ප්‍රකට සිනමා උළෙල නියෝජනය කළ සිනමාපට ඇතුළුව පසුගිය දෙවසර තුළ ජාත්‍යන්තර ඇගැයීමට ලක්වූ සිනමා 10ක් අන්තර්ගත වූ උළෙලේ ප්‍රධානතම  තරගකාරී අංශයේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට ද නිවුස්පේපර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත්වූහ.

2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ කසාන් සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය සිනමාපටයක් සම්මානයකින් පිදුම් ලද දෙවැනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර 2018 වර්ෂයේදී සමීර නාඔටුන්නගේ මෝටර් බයිසිකල් සිනමාපටය රුසියානු සිනමා විචාරක සංසදය විසින් පිරිනමන ස්වාධීන ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. එහෙත් උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් හිමිකම් කියූ පළමු අවස්ථාව ද නිවුස්පේපර් හරහා සටහන් වීම කැපීපෙනේ. කසාන් උළෙලේදී ලද සම්මානයත් සමඟ මේ වනවිට අන්තර්ජාතික උළෙලවලදී “ද නිවුස්පේපර්” දිනා ඇති  සමස්ත  සම්මාන සංඛ්‍යාව 08ක් බවට පත්වේ.