වෘත්තීය පළපුරුද්ද ඇතොත් කොරියන් රැකියාවලට භාෂා ප්‍රවීණත්වය ඕනෑ නෑ

0
36

භාෂා ප්‍රවීණතාව නැතත් ක්ෂේත්‍ර කිහිපයක පළපුරුද්ද සහිත පිරිසට කොරියානු රජයේ රැකියා ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවැසීය. වෙල්ඩින්, පේන්ටින්  සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රයේ රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් භාෂා ප්‍රවීණතාවක් නොමැති වුවත් ඒ සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව සැලසෙන බවත් ඔහු අවධාරණය කළේය.

යම් පුද්ගලයෙක් ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් නාවල පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශ කාර්යාලයට පැමිණ තොරතුරු ලබා ගන්නැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

NVQ සහතික මේ සඳහා අවශ්‍ය නොවන බවද එම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 දක්වා පුද්ගලයන්ට මෙයට අයැදුම් කළ හැකි බවද හෙතෙම කීය.

මේ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා රුපියල් ලක්ෂ 8 1/2 සිට වැටුප් ආරම්භ වන බවත් රැකියා සඳහා තෝරා ගැනෙන පිරිසට  විදේශ ගත වීමේදී රාජ්‍ය බැංකු මඟින් ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ රටවල රැකියා ලබා ගැනීමේදී විසා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඊයේ (13දා) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ විදේශ රැකියා සඳහා අයැදුම් කිරීමේදී වීසා ප්‍රතික්ෂේප වීමක් සිදු නොවන බවය.

ජපානයෙන් මේ වන විටත් සාත්තු සේවා සඳහා රැකියා ඇබෑර්තු ලැබී ඇති බවත් ඉන් 90%ක් කාන්තාවන් සඳහාත් ඉතිරි ප්‍රමාණය පිරිමින් සඳහාත් ලැබී ඇති බවත් ඔහු පැවැසීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම ඇතුළු තවත් රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ජපන් රජය සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවද හෙතෙම කීය.

සවනි ශේශාධි