වී වේළමින් සිටි ගොවියා අලි ප්‍රහාරයෙන් මරුට

0
19

පොළොන්නරුව, මහඔය ප්‍රධාන මාර්ගයේ දම්මින්න මාර්ගයේ වී වේළමින් සිටි ගොවි මහතකුට වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 18  දම්මින්න, පිඹුරත්තෑව ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ කරුණාරත්න යන හැටපස් වියැති තිදරු පියකු බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.

මෙවර යල කන්නයේ තම කුඹුරෙන් නෙළාගත් වී අස්වනු ප්‍රධාන මාර්ගයේ දමා වේළමින් සිටියදී මෙම අලි ප්‍රහාරයට ඔහු ගොදුරු වී ඇති බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් මහතා සඳහන් කළේය.

මෙම මාසය ඇතුළත එම ස්ථානයේ වන අලි ප්‍රහාරයකින් සිදුවූ දෙවැනි මරණය මෙය බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය රූගත කිරීමට පැමිණි පොළොන්නරුව සිරස මාධ්‍යවේදියකු හා එම ස්ථානයේ සිටි අරලගංවිල පොලිසියේ පොලිස්  නිලධාරීන් තිදෙනා පිටුපස එම වන අලියා පන්නා ඇති බවද පොලිසිය කියයි.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මනම්පිටිය – නිමල් ජයරත්න