විශිෂ්ටම වාණිජ වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය Agriyo Green Solutions ආයතනයට

0
14

ආරක්ෂිත සෙවණ දැල් ගෙන්වා බෙදා හැරීමේ ප්‍රමුඛයකු වන, ෆේස්බුක් ඔස්සේ Min Mithuro ඔබ වෙත ගෙන ආ Agriyo Green Solutions ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් තාක්ෂණික සම්මාන උළෙලක් වන BestWeb.lk සම්මාන උළෙලේදී භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, විකිණීම සහ මුදල් දත්ත සම්ප්‍රේෂණය කරන වෙබ් අඩවි අංශයෙන් විශිෂ්ටම වාණිජ වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්  හෝටලයේ ඕක්රූම්හිදී පැවැත්විණි. නිර්මාණශීලීත්වය, ග්‍රැෆික් නිර්මාණ, කලාත්මක භාවය, තාක්ෂණය, ගුණාත්මක අන්තර්ගතය, භාවිතයේ පහසුව සහ විශ්වසනීය තොරතුරු පදනම් කරගෙන නිර්මාණය කර ඇති www.agriyo.lk වෙබ් අඩවිය නවොත්පාදී අයුරින් පාරිභෝගිකයන්ගේ නිරන්තර අවධානයට සහ පරිශීලනයට ලක්වීම සම්මානය දිනා ගැනීමට හේතු විය.

Axiata Digital Labs ප්‍රධාන විධායක නිලධාරි සුසාර කවුදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන උළෙල සඳහා Agriyo Green Solutions අධ්‍යක්ෂ අංජුල චාමින්ද සහ වෙබ් අඩවිය නිර්මාණය කළ සුපුන් රවිදු යන මහත්වරු සහභාගි වූහ. Agriyo Green Solutions ආයතනය මත්ස්‍ය වගා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන ඉහළ ගුණාත්මක භාවයෙන් සහ කල්පැවැත්මෙන් යුත් ආරක්ෂිත දැල් ආනයනයකර දිවයින පුරා බෙදාහරියි. පාරිභෝගිකයන් සමඟ අන්තර්ජාලය සහ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවලට හොඳින් ගැළපෙන සෙවණ දැල් සැපයීමට ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි.

“ඉහළ තාක්ෂණයෙන් හා නිර්මාණශීලීත්වයෙන් පරිපූර්ණව www.agriyo.lk වෙබ් අඩවිය නිර්මාණය කළේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන් සමඟ මාර්ගගතව සම්බන්ධ වෙලා භාණ්ඩ සහ සේවා සැපයීමට. මෙරටට විදේශ විනිමය රැගෙන ඒමට බලපාන ප්‍රධාන ක්‍ෂේත්‍රයක් වන මත්ස්‍ය වගාවට සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය මූලික උපාංගයක් වන සෙවණ දැල් සහනදායීව සහ පහසුවෙන් ආනයනය කිරීමට අවශ්‍ය පසුබිම සකසාදෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා.” කළමනාකාර අධ්‍යක්ෂ අංජුල චාමින්ද මහතා පැවැසීය.