විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධ කතිකාව වෙන කවරදාටත් වඩා කරළියට පැමිණියේ ඇයි

0
16

මැදපෙරදිග කලාපයට පමණක් සීමා වී තිබූ විදෙස් ශ්‍රමික කතිකාව කොරියාව, ඊශ්‍රායලය, ජපානය සේම යුරෝපාකරය කරාද ව්‍යාප්තව තිබේ. කලින් කලට පත් වූ විවිධ රජයන් විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් දහසක් බලාපොරොත්තු, දෙනවා යැයි කී දහසින් බැඳි පියලි සුළඟට පාවී ගියේය. එහෙත් ඔවුන් එවන ඩොලරය පමණක් සැමදා සැමවිට අපේක්ෂා කරන ලදී. ඒ ඒ රජයන්ගේ කඩවුණු පොරොන්දු නිසා රටට එවන ඩොලර් හොර පාරට වැටිණි. උණ්ඩියල් ඇතුළු බොහෝ කළුකඩ ජාවාරම් බිහිවිය. අවසානයේ ඩොලරය හොර පාරටම සින්න විය.

විදෙස් රැකියා නියාමනය අයාලේ යෑම නිසා මිනිස් ජාවාරමුන්ගේ මඩිය තර විය. විදෙස් රැකියා සිහිනයේ ගිලුණු බොහෝ දෙනාට අතැති මුදල පමණක් නොව ජීවිතයත් තර්ජනයට ලක්විය. එවන් පසුබිමක විදෙස් රැකියා ඇමැති ධුරය මනුෂ නානායක්කාරට ලැබෙන විට රටෙහි ඩොලර් සංචිත පමණක් නොව ආර්ථිකයත් රටත් තිබුණේ දැඩි අස්ථාවරත්වයකය. රටම අවුල් ජාලාවක්ව ඇති විට විදෙස් රැකියා ක්‍ෂේත්‍රයේ ඉරණම අමුතුවෙන් පැවැසිය යුතු නැත.

මනුෂගේ ක්‍රීඩාපිටිය කටුකොහොල් වළගොඩැලි පිරි වල් වැදුණු ලඳු කැලෑවක් මිස මනාව සැකසූ තණතිල්ලක් නොවේ. මනුෂ බැට් කිරිල්ල පසෙක තබා පිටිය සැකසීමට මුල් තැන දුන්නේ එබැවිනි. 

ප්‍රමුඛ අභියෝගය විදෙස් මුදල් හරි පාරෙන් ගෙන්වා ගැනීමය. දෙවැන්න මැදපෙරදිග නුපුහුණු ශ්‍රමිකයන්ට කේන්ද්‍රගතව තිබූ විදෙස් රැකියාව පුහුණු වෘත්තිකයන්ගේ දිශානතියට ගැනීමය. තෙවැන්න රජයක් ලෙස විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් දිය හැකි උපරිම පහසුකම් සහ සහන ලබාදීමය. සිවුවැන්න වඩාත් අසීරුම අභියෝගයයි. ඒ විගමනික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වන සමාජ ආකල්පය වෙනස් කිරීමය.

නීත්‍යනුකූල ආකාරයට බැංකු හරහා මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම ප්‍රතිලාභ ලබාදීමට පොරොන්දු වන්නේ ඒ අනුවය. ගුවන්තොටුපොළ තීරුබදු සහන ඉහළ නැංවිණි. මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා වන ගුවන්තොටුපොළ තීරුබදු සහනය ඩොලර් 6550කි.  එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදුන් වැඩිම තීරුබදු සහනය එයයි. ඉදිරි කාලයේදී මෙය තවත් ඉහළ දැමෙනු ඇත.

ඒත් සමඟ විදුලි වාහනයක් ගෙන්වා ගැනීමේ තීරුබදු සහනය ක්‍රියාවට නැංවිණි. මේ වනවිට විදුලි යතුරුපැදියේ සිට මෝටර් රථය දක්වාම තීරුබදු සහන ක්‍රියාත්මකය.

රටේ ආර්ථික හා දේශපාලන වාතාවරණය සමඟ ආගමන හා විගමන කාර්යාලයේ විදෙස් ගමන් බලපත් සඳහා දිගු පෝලිම් නිර්මාණය විය. ගුවන්ගමන් බලපතක් ලබාගැනීමට මාස දෙකකට වැඩි කාලයක් බලා සිටින්නට සිදුවන තරමට පෝලිම් වර්ධනය විය. එමඟින් රැකියා සඳහා විදෙස්ගත වීමට සූදානම්ව සිටි අපේක්ෂකයන් බලවත් අපහසුතාවකට පත්විය. මේ නිසාම ආගමන – විගමන කාර්යාලයේ විශේෂ කවුළුවක් විවෘත කිරීමට කටයුතු කෙරිණි. ඒ විදෙස් රැකියා සඳහා පිටත් වීමට නියමිත ගුවන්ගමන් බලපත් නොමැති අයදුම්කරුවන්ගේ බලපත් නිකුත් කිරීම වෙනුවෙනි.

මැදපෙරදිගට සීමා වී තිබූ විදෙස් රැකියා සිහිනය ලෝකයටම විවෘත කෙරිණි. එහෙත් පොලිස් සහතික අනිවාර්ය වූ රටවල රැකියා අපේක්ෂකයන් අපහසුතාවට පත්වන්නේ නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ දැඩි ප්‍රමාදය නිසාය. හේතුව සොයා වහාම පිළියම් ලබාදීමට කටයුතු යෙදිණි. පොලිස් දෙපාර්තමේන්තුවට නිෂ්කාශන වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීමට අවශ්‍ය පරිගණක ලැබිණි. 

කොරියානු, ඊශ්‍රායල් ඇතුළු පුහුණු වෘත්තීයමය රැකියා සඳහා අපේක්ෂකයන් පිටත්වීම ක්‍රියාවලියේ අඩුපාඩු නිසා බෙහෙවින්ම මන්දගාමීව පැවැතිණි. එහෙත් මේ වන විට ඊශ්‍රායල් සාත්තු සේවයට සේම කොරියානු රැකියා සඳහාද සතිපතා පිටත්වන ප්‍රමාණය දෙසීයකට ආසන්නය.

රැකියා සඳහා පිටත් වුවද වෛද්‍ය හේතූන් මත හෝ වෙනත් සාධාරණ හේතුවක් මත ආපසු හරවා එවීම් මෙන්ම රැකියා අතරතුර හදිසි අනතුරු, ජීවිත අවදානම් අවස්ථාවකදී සුරක්ෂිත පසුබිමක් අයදුම්කරුට හෝ රැකියා නියෝජිතයාටද නොවිණි. දෙපාර්ශ්වයම ආවරණය වන පරිදි නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කටයුතු යෙදුණේ ඒ අනුවය. ඒ සදහා රැකියා නියෝජිතයන් පිරිවැය දරන අතර ප්‍රතිලාභ දෙපාර්ශ්වයටම හිමිය.

විගමනික ශ්‍රමිකයන් ගුවන්තොටුපොළෙන් පිටවීමේදීත් ආපසු පැමිණීමේදීත් බොහෝ අකටයුතුකම්, අසාධාරණකම් සහ නොසැලකීම්වලට කාලාන්තරයක් තිස්සේම භාජන විය. රටට ඩොලර් රැගෙන ඒමට පිටත්ව යන විගමනික ශ්‍රමිකායාට ගුවන්තොටේදී හිමි වූයේ තුන්වැනි පන්තියෙනුත් පහළ සැලකිල්ලකි. එහෙත් ඒ සියල්ල පළමු පන්තියේ සැලකිල්ලක් බවට පත් කරමින් විගමනික ශ්‍රමිකයන් සඳහාම ගුවන්තොටුපොළ නව ප්‍රවේශ ද්වාරයක් හෝප් ගේට් නමින් විවෘත වන්නේය. පළමු පන්තියේ ව්‍යාපාරිකයාට, දේශපාලනඥයාට ලැබෙන සැලකිලි විගමනික ශ්‍රමිකයන්ටද ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ සියල්ල ඍජුව දැනෙන සහ පෙනෙන ප්‍රතිලාභ පමණි. ඒ සියල්ල අතරතුර දිගුකාලීන උපායමාර්ගික සැලසුම් සකස් වන්නේය. ජපානයේ පුහුණු වෘත්තීන් ඉලක්ක කර ගනිමින් පාසල් විෂය නිර්දේශයට ජපන් භාෂාව සහ වෘත්තීය පාඨමාලා ඇතුළත් කෙරෙන්නේ එබැවිනි.

ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ තත්ත්වයන් පුරෝකථනයට, නිරීක්ෂණයට සහ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් කොරියානු රජය හා එක්ව දත්ත මෙහෙයුම් පද්ධතියක් සකස් වෙන්නේ ඉදිරි දශක දෙක තුනක ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකර ගැනීම පිණිස ය.

ඉතාලියේ රැකියා අවස්ථාවන් ඉලක්ක කර ගනිමින් ඉතාලි රැකියා සඳහා වන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා පසුබිම සැකසෙන්නේ ඒ අනුවය. නවසීලන්තයේ රැකියා අවස්ථාවන් මෙන්ම ඇමරිකාවේ ඍතු පදනම් කරගත් රැකියා සඳහා ශ්‍රී  ලාංකිකයන්ට ප්‍රවේශය සකසා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසෙමින් පවතින්නේය. ඒ සියල්ල අතරතුර යුරෝපා කලාපයට ශ්‍රී  ලාංකික වෘත්තීය ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් යොමු කිරීම සඳහා වන උපක්‍රමික සැලසුම් සකස් වෙමින් පවතී. රජයේ සේවකයන්ට වැටුප් රහිතව වසර පහක් දක්වා විදෙස් රැකියාවක නිරත වීමට නිවාඩු හිමිකම ලැබී තිබේ. මේවායේ ප්‍රතිඵල මාසිකව ඩොලර් එවන තරම් ඉක්මනින් ලැබෙන්නේ නැත. එහෙත් දීර්ඝකාලීනව ලැබෙන ප්‍රතිඵලය වන්නේ වෘත්තීයමය රැකියා සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය වීමය.

එසේම විගමනික ශ්‍රමිකයන් සඳහාම වන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉතා නුදුරු දිනකදීම ක්‍රියාවට නැංවීමට නියමිතය. ඒත් සමඟ සහන ක්‍රමවේදය යටතේ ලබාදෙන ණය වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇත.

මේ සියල්ල සිදුවන්නේ මාස තුනක් වැනි කෙටි කාලයක් තුළය. එසේ වුවත් මනුෂ තවමත් සිටින්නේ පිටිය සකසමිනි.