විදෙස්ගත ලාංකිකයෝ ආණ්ඩුවට විරෝධය පා ජිනීවාහි රොද බඳිති

0
29

ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබිණි. මර්දන නවතනු,  අරගලයට අත නොතබනු, අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු, වසන්ත, සිරිධම්ම හිමි හා හෂාන් වහා නිදහස් කරනු, PTA ඇතුළු මර්දන නීති අහෝසි කරනු, අරගලය ඉවර නෑ රොත්තම පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු,

අරගලයට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගනු, ලංකාවේ ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනයට එරෙහි වෙමු  ආදී සටන් පාඨ සහිත පුවරු රැගත් යුරෝපයේ වෙසෙන අතිවිශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි විය. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණි නීතිඥ නුවන් බෝපගේ මහතා හා සමාජ ක්‍රියාකරී ෂෙහාන් මාලකද එක්වූහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිය පැවැති පසුගිය 12 වැනිදා සත්‍යග්‍රහයක් ජිනීවා පිහිටි එම කාර්යාලය ඉදිරිපිට පැවැතියේ මෙයට සමගාමීවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු සඳහා රැඳවුම් නියෝග (Do) නිකුත් කිරීම, සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම, පැහැරගැනීම්, සිරගත කිරීම් සහ බියගැන්වීම් පිළිබඳ ශ්‍රී ලංකා රජයට චෝදනා කරන වගන්ති 31න් යුත් වාර්තාවක් නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් භාරදීමට කටයුතු කර තිබිණි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව යුරෝපයේ වෙසෙන ලාංකිකයන් ඉදිරියේදී ස්ට්‍රාස්බර්ග් පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුව ඉදිරිපිටද දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මෙහි සංවිධායකයෙක් පැවැසීය.

ෂමින් පණ්ඩිතරත්න ජිනීවා නුවර සිට