විදුලි බිල දුටු ව්‍යාපාරිකයෝ ශීතකරණ ගලවා ඉවත් කරලා

0
45

වැඩි කළ විදුලි ගාස්තුව අනුව ලද විදුලි බිල්පත දුටු ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන් ආයතන තුළ මෙතෙක් භාවිත කළ අධිශීතකරණ, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ රැසක් ගලවා ඉවත් කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.  විදුලි බිල වැඩි වන්නට පෙර ව්‍යාපාරික ස්ථානයකට විදුලි ඒකක 647ක් වෙනුවෙන් ලැබුණු 14,890ක මුදල මෙවර ඒ හා සමාන ඒකකවලට රුපියල් 23,432ක් පමණ වී ඇතැයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විදුලි බිලක් පෙන්වමින් කියා සිටියේය. ඒ සම්බන්ධව ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් මෙසේද පැවැසූහ.

“අපි කඩ පවත්වාගෙන යනවා. කුකුළු මස් හා මාළු විකුණන හින්දා ඒකට වෙනම අධිශීතකරණයක් පාවිච්චි කළා. ඒත් මස්, මාළු මිල ගණන් ඉහළ ගිහිල්ලා අවාරෙට පොල් වැටෙනවා වගේ තමයි කඩෙන් කාට හරි මස්, මාළු විකුණන්නේ.  අවසානයේ විකුණපු මස්, මාළුත් නෑ. විදුලි ගාස්තුව විතරක් නැඟලා. ඒක හින්දා බොරුවට දැරිය නොහැකි විදුලි ගාස්තු අධි ශීතකරණ නිසා වැඩි වන හින්දා ඒවා ගලවා ඉවත් කළා. මේ ගලවපු අධි ශීතකරණ විකුණලා දානවා.

එසේම බොහොමයක් ව්‍යාපාරික ස්ථානවල භාවිත කළ ශීතකරණ කිහිපයක් වෙනුවට අනවශ්‍ය ඒවා ඉවත් කොට අත්‍යවශ්‍ය එකක් පමණක් පාවිච්චි කරන අයුරුත් අනවශ්‍ය විදුලි පංකා, විදුලි පහන් පවා එම ස්ථානවල මෙන්ම නිවෙස්වලින්ද ගලවා ඉවත් කර ඇති අයුරුත් මුළුතැන්ගෙයි භාවිත කළ රයිස් කුකර්, හීටර් ආදිය පවා ගලවා ඉවත් කර ඇති අයුරුත් ඒ සම්බන්ධව කරුණු සොයා ගිය ගමනේදී අපටද දක්නට ලැබිණි.

විදුලි ගාස්තුව වැඩි වීම ගැන මනු කියවන්නන් පවසන්නේ ද එදා සාමාන්‍ය අයුරින් ඒකකයට අය කළ රුපියල් 2.40ක මුදල මේ වන විට රුපියල් 7.50ක් ලෙසට වැඩි වුණ නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි.

පොල්පිතිගම – නන්දන කැලේගම