වස්ගමුව රක්‍ෂිතයේ පතල් කපන අය අල්ලන්න ගිය වනජීවී නිලධාරීන්ට පහර දීලා

0
11

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පතල් කැණීම් කරමින් සිටි පිරිසක් වැටලීමට ගිය පොළොන්නරුව, නිකවැව වනජීවී නිලධාරීන්ට පහරදුන් බව කියන හත්දෙනකු 13 වැනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිකවැව දකුණුඇළ ගම්මානයේ පදිංචි අවුරුදු 45ත්, 60ත් වයසේ පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි. 

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ගෑනුආර ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් පරිසරය විනාශ කරමින්, රක්ෂිතය තුළ පතල් කැණීම් සිදුකරන බවට ලද තොරතුරක් අනුව පොළොන්නරුව නිකවැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පස්දෙනකු එම වැටලීම සඳහා ගිය අවස්ථාවේදී එහි සිටි දස දෙනකු වනජීවී නිලධාරීන්ට පහරදී තුවාල සිදුකර රිපීටර් වර්ගයේ තුවක්කුවක්ද කඩා ඇති බවට වනජීවී නිලධාරීන් පොළොන්නරුව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව  සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම සිද්ධියේදී නිකවැව වනජීවී කාර්යාලයේ අඩවි සහකාර, නලීන් ජයසූරිය මහතා ඇතුළු තවත් වනජීවී නිලධාරියකු, සිවිල් ආරක්ෂක නිලධාරියකු, පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනකු මේ වනවිටත් ප්‍රතිකාර ලබන බවද ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති, පොළොන්නරුව වනජීවී කලාපයේ වැටලීම් අංශයේ අඩවි සහකාර කුමාරසිරි විජේකෝන් මහතා පැවැසීය. 

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අංගම්මැඩිල්ල, ගෑනුආර ප්‍රදේශයේදී දිගින් දිගටම සංවිධානාත්මක කල්ලි නීති විරෝධී ලෙස පතල් කැණීම් සිදුකරන අතර එම වැටලීම් සිදුකිරීමට සිය වනජීවී නිලධාරි කාර්යාලයේ නිලධාරීන්ට රක්ෂිතය තුළදීම පහරදීම බරපතළ වරදක් බවත්, මේ පිළිබඳ පුළුල්

පරීක්ෂණයක් සිදුකර සැකකරුවන්ට විරුද්ධව දැඩි දඬුවම් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා වනජීවී  සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් මහතා පැවැසීය.

වනජීවී නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා 13 වැනිදා සවස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරු මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් පැවැසීය.

මනම්පිටිය – නිමල් ජයරත්න