ලිසිනෝනාගේ කුඩු කතාව

0
75

ඊයේ අප මව්බිම පුවත්පතෙහි පළමු පිටුවෙහි ගෙවල්වල උළුවහු – ජනෙල් විකුණා කුඩු ගහන්නට පටන්ගෙන සිටින වැදි පුත්‍රයන් හා සබැඳි පුවතකි. පුවතට පසුබිම් වුණේ ආදිවාසී නායිකා කේ. ලිසිනෝනාගේ හෙළිදරව්වකි. ඇගේ හෙළිදරව්ව ඇගේම සනුහරේ ගැන කියාපාන්නක් වන නමුත් ඒ කතාව පිටුපස ඇයද නොදකින බරපතළ ඛේදවාචකයකි. ඒ මේ රටේ කුඩු උවදුර දැන් වැදිගම්මානවලටත් හඹා ගොසින්ය. දළුකාන වැනි කැලෑබද ගම්මානවල තත්ත්වය මෙබඳු නම් මේ රටේ අනෙක් ප්‍රදේශ ගැන කුමක් කියන්නද? ජනතාව පමණක් නොව රටේ බලධරයන් ඇස් ඇරගෙන සිටිය යුතුම කාලයකි මේ.

ආදිවාසී නායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝද තමන්ගේ සනුහරේ එකෙකුට ආණ්ඩුවේ බලධරයන්ගෙන් සිදුවුණු අකරතැබ්බයක් ගැන මාධ්‍ය හමුවකදී කරුණු කියා තිබිණි. සනුහරේ එකා වසන්ත මුදලිගේය. එහෙම කීවේ ඔහු ගැන අවතක්සේරුවකින් නොව, මේ රටේ ආදිවාසී ජනතාව දැන් දැන් පොදු පුරවැසි සමාජයට ප්‍රවේශවෙමින් රටේ ජාතික ගැටලු සම්බන්ධව වුවද කාලීන කතිකාවලට එක්ව සිටින හැටි පෙන්වා දෙන්නටය. ‘ආදිවාසී’ නමින් අප එක් ජන කොටසක් හඳුන්වා දෙන්නට උත්සාහ කරන නමුත් මේ රටේ සමස්ත පුරවැසියෝම ආදිවාසී සම්භවයක් ඇති පිරිසක් වෙති. 

වන්නිල ඇත්තන්ගේ ඉල්ලීම නීතිය කාටත් සාධාරණ විය යුතු බවය. එය වසන්ත මුදලිගේටද එසේම විය යුතු බව ඔහු අවධාරණය කරයි. ලිසිනෝනාගේ කතාවෙන් ඇය හෙළිකොට තිබෙන සනුහරේ උදවිය ගැනද වහා විමර්ශනයක් කළ යුතු බවත් ඇය සඳහන් කරන ආකාරයේ යම් අසාධාරණයක් සිදුව තිබේ නම් වහා ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවද අවධාරණය කළ යුතුමය.

නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ආදිවාසී පවුල් 54ක් සඳහා නිවාස ඉදිකර දුන්නත් ඔවුන් වැඩි පිරිසක් එම නිවාස පිටස්තර පුද්ගලයන්ට විකුණා වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවත් ලිසිනෝනා කියයි. 2015 වර්ෂයේදී නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස ආදිවාසීන් උදෙසාම ගම්මාන දෙකක් හදා දී තිබිණි. එක ගමක් ජීවහත්ත ගමය. අනෙක් ගම දිසාලා ගමය. මේ ගම් දෙකෙහි පවුල් 54ක් වෙනුවෙන් නිවාස 54ක් නොමිලේ ගොඩනඟා දුන් බව දැනගන්නට ඇත. මේ නිවාසවල පදිංචිව සිටි පවුල් දෙකක් දැනටමත් තමන් පදිංචිව සිටි නිවෙස් විකුණා දමා දැනට මඩකළපුව ප්‍රදේශයට ගොස් ඇති බව ලිසිනෝනා කියයි. තවත් නිවාස කිහිපයක් මෙසේ විකිණීමට සූදානමින් සිටින බවටද ඇය තොරතුරු හෙළි කරයි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්. ඉන්ෆාන් කියන්නේද ආදිවාසීන් වෙනුවෙන් ලබාදුන් එම නිවාස විකුණා දැමීම නීති විරෝධී කටයුත්තක් බවය. මෙම නිවෙස් පිහිටි භූමිය විකිණීම සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඉන්ෆාන්ගේ අදහසය.

මිනිසුන්ට කෑම බීම නැති වූ විට ගේ‍ෙදාර හෝ විකුණා එසේත් නැතිනම් ඒ ගෙවල්වල ‍ෙදාර උළුවහු, ජනෙල් පමණක් නොව වහලේ සෙවිලි තහඩු හෝ ගලවා විකුණා කුසගිනි නිවාගන්නට සැරසීම ගැන පුදුම විය යුතු නැත. මිනිසුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව ආහාර බැවිනි. එහෙත් ලිසිනෝනා කියන්නේ එහෙම කතාවක් නොවේ. ඒ කියන දේවල් විකුණා මත්ද්‍රව්‍ය ලබාගන්නට කටයුතු කොට ඇති බවය. එහෙම කළා නම් ඒ කළේ බරපතළ ජාතික අපරාධයකි.

මේ රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධව බරපතළ අණපනත්, නීති ක්‍රියාත්මකය. මත්ද්‍රව්‍ය ජාවාරම අපරාධයක් සේ සලකා ඊට දෙන ඉහළම දඬුවම මරණ දඬුවම බවට පත්කොට තිබේ. යහපාලන ආණ්ඩුව කාලයේ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන්නට පියවර රැසක් අනුගමනය කර තිබිණි. අත්අඩංගුවට ගත් කුඩු ප්‍රමාණය මෙන්ම සැකකරුවන්ගේ ප්‍රමාණයද විශාලය. මරණ දඬුවමට ලක්වූවෝද වෙති. මරණය නඩු තීන්දුවට පමණක් සීමාවීමේ වරප්‍රසාදයෙන් අයුතු ප්‍රයෝජන ගත් අපරාධකරුවන්ට සිරකුටියද ජාවාරම දිගින් දිගට කරගෙන යන්නට නිසි මධ්‍යස්ථානයක් වී තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට පියවර ගනිමින් සිටි අය පවා එහි ප්‍රවර්ධනයට හවුල් වී සිටීම ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබිණි. විවිධාකාරයෙන් මරුමුවට පත්වූවෝද වෙති. අධිකරණ ක්‍රියාමාර්ගද දැනුදු ක්‍රියාත්මකය. සියල්ල මෙසේ තිබියදීත් මේ උවදුර තවමත් මේ රටින් අතුගා දමන්නට පුළුවන් වී නැත. කුඩු පට්ටම් කරන හැටි ගැන මාධ්‍ය සාකච්ඡාවල, මැතිවරණ වේදිකාවල ඇසෙන වීර කතා කලින් කලට කන් පිනවයි. රස දනවයි. ලිසිනෝනලා ජීවත්වන්නේද මේ මනරම් විසිතුරු තොරොම්බල් දිවයිනෙහිය.

අවුරුදු ගණන් එකදිගට මේ රට පාලනය කළ වසර ගණන් හුරුපුරුදුකම් ඇති පාලකයන්ටත් මේ රටේ කුඩු උවදුර මැඬලන්නට තබා එය දුබල කරන්නටවත් තවම පුළුවන් වී නැත. මෑතකදී පාසල් සිසුන්ගේ බෑග් ටික චෙක් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වෙයි. මේ වාගේ දෙකයි පනහේ වැඩවලින් උවදුර තවදුරටත් ඔඩුදුවන්නට මඟ සලසනවා මිසක වෙන ප්‍රයෝජනයක් වේදැයි සිතා බැලිය යුතුය. ‍ෙදාර, උළුවහු විකුණාගෙන කුඩුගහන තැනට දළුකානේ වැදි ගම්මාන දක්වා මේ උවදුර දැන් ඔඩුදුවමින් තිබේ. වරද කළ උන් අල්ලා දඬුකඳේ ගැහුවාටම මේ ඔඩුදිවිල්ල  ඇනහිටින්නේ නැත.

අඩු තරමින් ලිසිනෝනා කියන කතාවටවත් බලධරයන් සවන් දිය යුතුය. අෑ ඉල්ලා සිටින්නේ සැබෑ ආදිවාසී ජනතාවට ස්ථීර නිවාස ලබාදීමට පියවර ගත යුතු බවය. අෑ නොකියා කියන්නේ නුසුදුස්සන්ට නිවාස ලබාදීමෙන් මේ මහ වින්නැහිය සිදුවී තිබෙන බවය. සත්‍යයද එයමය. නුසුදුසු උදවියට ඉහටත් උඩින් වරදාන වරප්‍රසාද, තෑගි භෝග පිරිනමන්නට ගියවිට අන්තිමට මහ විනාශයකට පාර කපා කොහෙන් කෙසේ කෙළවරවේදැයි කියන්නට බැරි ප්‍රශ්න ගොඩකට කාට කාටත් කර ගහන්නට සිදුවනු ඇත. ඒ තත්ත්වයට ඉඩ නොතැබීමට දැන්වත් බලධරයන් වගබලාගත යුතුව තිබේ.