රිදී රේඛා අතර අඳුරද වටහා ගනිමු

0
7

ලෝකයේ පාපන්දු ලෝලීන් වැඩියෙන්ම ආදරය කරන රටවල් දෙක මොකද්ද කියලා බැලුවොත් එහි උඩින්ම ඉන්නේ බ්‍රසීලය සහ ආජන්ටිනාව.

එයිනුත් ආජන්ටිනාව සම්බන්ධව පාපන්දු ප්‍රේක්ෂකයන් අතර තියෙන්නෙ අප්‍රමාණ ආදරයක්.

ලෝකෙ එදා මෙදාතුර බිහි වුණු  විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් අතරින් අංක එකේ සිටින ක්‍රීඩකයන් දෙදෙනෙක්ම  ආජන්ටිනාව බිහිකළා. එක්කෙනෙක් ඩියාගෝ මැරඩෝනා. අනෙක් කෙනා අදටත් ක්‍රීඩා කරන ලියොනල් මැසී.

ලෝක ක්‍රීඩා අතර ධනකුවේරයන් බිහි කරන තෝතැන්නක් විදිහට තමයි පාපන්දු හැඳින්වෙන්නේ. පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සහ පාපන්දු ජයග්‍රහණය කරන රටවල් ආර්ථික අතින් ශක්තිමත් වෙන්නේ පාපන්දු ඇතුළේ සැරිසරන විශාල ධනස්කන්ධය නිසා.

1978 හා 1986 වසරවලදී ලෝක පාපන්දු ශූරතාව හිමි කර ගෙන ඇති ආර්ජන්ටිනාව දකුණු අමෙරිකානු කලාපයේ සියලු තරග ජය ගනිමින් 2014 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තා. කලාපීය වශයෙන් ජයග්‍රහණ විශාල ප්‍රමාණයකුත් ආජන්ටිනාව සතු කරගෙන තියෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවලදී මේ වනවිට තරග 13ක් ක්‍රීඩා කොට ජයග්‍රහණ 8ක් සහ ජය පරාජයෙන් තොර තරග 5ක් ලෙසින් ආර්ජන්ටිනාව තවදුරටත් අපරාජිතව පසු වනවා.

ආර්ජන්ටිනාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙහි මුල්ම 5 අතර රැඳෙනවා.

පාපන්දු ආශ්‍රිතව අතිවිශාල ධනස්කන්ධයක් හුවමාරු වන රටක් විදිහට ආර්ජන්ටීනාව සැලකෙනවා.

නමුත් ඉතාම බියකරු ඛේදවාචකය කුමක්ද?

වසර සියයකට පමණ පෙර ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් ලෙස වැජඹුණ ආර්ජන්ටිනාව වරක් 105%  තරම් ඉහළ සාමාන්‍ය වාර්ෂික උද්ධමනයකට මුහුණ දුන්නා. 1980 සිට විදේශ ණය ගෙවීම් පස් වතාවක් පැහැර හැර ඇති රාජ්‍යයක් ලෙස ආජන්ටිනාව හ¾දුනාගෙන තිබෙනවා. ලෝකයේ වෙනත් කිසිදු රටක් එතරම් වාර ගණනක් ගෙවීම් පැහැර හැර නැහැ. අද ආජන්ටිනාව ඩොලර් බිලියන 44ක හිඟයක් සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ණයකරු බවට පත්වෙලා.

1990 දී බලයට පත්වූ කාලෝස් මෙනන් ආර්ථික විප්ලවයක් සිදු කරමින් රට ගොඩනඟන්න උත්සාහ කළා. නමුත් ඔහුගෙන් පස්සේ නැවතත් ආජන්ටිනාව බංකොලොත් තැනට ඇද වැටුණා.

අධික දූෂණය නිසා ආයෝජකයන් ආජන්ටිනාව දෙස සැක සාංකාවෙන් බැලුවා. ආජන්ටිනාවේ සාගින්න සහ මන්දපෝෂණය පුළුල්ව පැතිරුණා. ජීවන බරින් වියරු වැටුණු ජනතාව කැරලි ගසමින් කොල්ලකෑම්වල නිරත වෙමින් රට එකම අවුල් ජාලාවක් බවට පත් කළා.

ආජන්ටිනාව අසමත් රාජ්‍යයක් ලෙස ලෝකයට විවෘත වුණා. 2021 වනවිටත් ආජන්ටිනාවේ උද්ධමනය වාර්ෂිකව 52.1% දක්වා ඉහළ ගොස්.

රටක් සාර්ථකව අසමත් වන්නේ කෙසේද කියන එකට හොඳම උදාහරණය ආජන්ටිනාව.

හැබැයි අදටත් ආජන්ටිනාව ලෝක පාපන්දු පිටියේ පෙළහර පානවා.

 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් එක්ක ශ්‍රී ලංකාව ගැන මුළු ලෝකයේම අවධානය යොමු වෙනවා. වසර ගණනාවක් තිස්සේ එක දිගට පැවැති සිවිල් යුද්ධය හේතුකොටගෙන ලංකාව ගැන ලෝකය පුරාම තිබුණේ අන්ධකාර චිත්‍රයක්. හැබැයි cricket විසින් ඒ අ¾දුරු චිත්‍රය පාට කරන්නට සමත් වෙනවා. ආජන්ටිනාවට පාපන්දු ආගමක් වන්නේ යම් සේ ද ලංකාවට cricket ආගමක් තරම් වැදගත් වෙනවා.

හැබැයි පාපන්දුවලින් ලෝක ශූරයන් වුණත් ආර්ජන්ටිනාව ආර්ථික සහ දේශපාලන වශයෙන් බංකොලොත්. ලංකාවත් ඒ වගේ කියලා හිතෙන එකේ වරදක් නෑ.

ශ්‍රී ලංකාවත් ආජන්ටිනාව මුහුණ දුන්නාක් මෙන් මහා ආර්ථික අවපාතයකට ලක් වී ඇති බව පිළිගැනීමට සිදු වෙනවා. ශ්‍රී ලංකා රුපියල  අධික ලෙස අවප්‍රමාණය වීම හමුවේ ලෝකයේ ඉතා දුර්වලව ක්‍රියාත්මක වන මුදල් ඒකකයක් ලෙස දැනටමත් හ¾දුන්වනවා. ඒක හරියටම ආජන්ටිනාවේ පෙසෝවට වුණා වගේමයි.

2001 වනවිට “ඛ්ධපපචතඪබධ” යනුවෙන් ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන ඒමට එකල ආජන්ටිනාවේ ආර්ථික ඇමැති වුණු ඩොමින්ගෝ කවාල්ලෝ කටයුතු කළා. මෙයින් වුණේ  ගනුදෙනුකරුවන්ට සිය බැංකු තැන්පතුවලින් මුදල් ලබා ගැනීම අමෙරිකානු ඩොලර් තැන්පතුවලින් මුදල් ලබා ගැනීම තහනම් කිරීමට සිදුවීම. ඒ සමඟම ජනතාවගේ දැඩි ‍ෙදා්ෂාරෝපණ සහ චෝදනාවලට ලක්වෙන්නට එම රජයට සිදුවුණා. බැංකු ඉදිරිපිට පෝලිම් ඇතිවුණා.

2009 වකවානුවේ යුද ගැටුම් අවස්ථාවලදී පවා ඍණ අගයයක් සටහන් නොවූ අපේ රටේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදන වේගය 2020 වසර අවසානයේ දැක්වුණේ -3.6% ක් ලෙසයි. මේ අගය 2001 වසරේ සටහන් වුණ -1.5% අගයට පසුව වාර්තා වූ එකම ඍණ ආර්ථික වර්ධන වේගය ලෙස ඉතිහාසයට එක්වුණා.

රට ගොඩනැඟීමට අවශ්‍ය වෙන්නේ නිවැරදි තීන්දු තීරණ සහ විනිවිද පෙනෙන ප්‍රතිපත්ති. අවස්ථාවාදීව ගනු ලබන තීන්දු නිසා කඩාවැටුණු රටවල් බොහොමයි. ලංකාව සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙත් ඒකමයි.

මේ අතර ලංකාව පසුගියදා ආසියානු කුසලානය ජයග්‍රහණය කළා. පීඩනයේත් අන්ධකාරයේත් වේදනාවේත් පණිවුඩය පමණක් අසමින් සිටි මිනිස් ප්‍රජාවකට ඒ ජයග්‍රහණය ආස්වාදයක්. ඒ වගේම හයවැනි වතාවටත් කාන්තා දැල්පන්දු කණ්ඩායම ආසියාව ජයගත්තා.

ඔවුන්ට සෑම පුරවැසියෙක්ගෙම උත්තමාචාරය හිමිවීම අවශ්‍යයි.

හැබැයි රට තියෙන්නෙ ගිනි කන්දක් උඩ බව හැමෝම මතක තබාගත යුතුයි. මේ ජයග්‍රහණවලට මුවා වෙලා පාලකයන් කුමක් කරයිද කියලා අවධානයෙන් ඉන්න එකත් පුරවැසි වගකීමක්.