රිදියගම සෆාරි උද්‍යානයේ මස් වැද්දෝ දිගටම වැඩ

0
19

රිදියගම සෆාරි උද්‍යානයේ රඳවා ඇති සතුන් මස් පිණිස දඩයම් කිරීමේ ජාවාරම තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ‘මව්බිම’ට තොරතුරු වාර්තා වේ.  

මද්දකට හසු වූ මුවෙකු පසුගියදා සංචාරකයකුගේ ඇස ගැටී ඇති අතර ඒ පිළිබඳව ඔහු පාලනාධිකාරිය දැනුවත් කොට ඇතැයිද පැවැසේ.

එම මුවාගේ ගෙලෙහි මද්දට යොදා තිබූ කම්බියක් ඒ වන විටත් පැටලී තිබූ බවත් ඉන් එම සතාට දරුණු තුවාල සිදු වී ඇති බවත් වාර්තා වේ.

එම සත්ත්වයා ජගත් ශාක භක්ෂක කලාපයේ සැරිසරමින් සිටියදී පසුගියදා සංචාරක අවධානයට ලක්ව ඇත.

ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කිරීමට සංචාරකයකු කටයුතු කර ඇති අතර ඉන් පසුව අදාළ අංශ එම සත්ත්වයා සමීපව නිරීක්ෂණය කිරීමේදී  ගෙලෙහි පැටලුණු මන්දද සහිතව දරුණු තුවාල ලබා සිටි බව හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.

මින් පෙරද අවස්ථා කිහිපයකදී රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් පිණිස දඩයම් කරන බවට පරිසරවේදීහු චෝදනා නැඟූහ.

සත්ත්වෝද්‍යානයේ සේවය කරන යම් සංවිධානාත්මක පිරිසක් හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ නරඹන්නන් පිනවීම පිණිස රඳවා ඇති සහ ඊට යාබද වනාන්තර කොටසේ සිට පැමිණෙන වන සතුන් විවිධ ක්‍රම මඟින් මස් පිණිස ඝාතනය කරන බවට ඔවුහු චෝදනා කළහ.

මේ අයුරින් ඝාතනය කෙරෙන සතුන් ප්‍රදේශයේ විවිධ හෝටල් සහ බලවත් පුද්ගලයන්ගේ පරිභෝජනය සඳහා යොමුකරමින් රිදියගම සෆාරි උද්‍යානයේ සත්ත්වෝද්‍යාන සේවකයන් කිහිපදෙනෙක් මුදල් උපයන බව පරිසරවේදීහු මින් පෙරද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු  කර තිබේ.

මින් පෙරද සෆාරි උද්‍යානයේ ‘ජගත් ශාක භක්ෂක’ කලාපයේ අං තට්ටුවේ මද්දක් පටලවා ගත් ගෝනකු දක්නට ලැබුණු බව වාර්තා විය.

සවනි ශේශාධි