රාජ්‍ය සේවය කප්පාදු කළ යුතු යැයි කියන ජනපති සුවිසල් කැබිනට්ටුවක් පත් කරනවා

0
12

ඵලදායිතාව අඩු බැවින් රාජ්‍ය සේවය අඩුකර ගැනීමට යෝජනා කරන ජනාධිපතිවරයා මෙතරම් විශාල ඇමැති මණ්ඩලයක් පත්කර එය සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි විමසිය යුතු බව පැෆරල් සංවිධානය අවධාරණය කරයි.

දූෂණ චෝදනා ලබා අධිකරණය මඟින් වරදකරුවන් වී සිටින පුද්ගලයන් අමාත්‍ය මණ්ඩලයට පත්කර රටටත්, ජනතාවටත් ලබාදෙන පණිවුඩය බරපතළ බව එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ, රෝහණ හෙට්ටිආරච්චිගේ අස්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී  ලංකාව දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින මොහොතක කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවක් පත්කරගෙන දේශපාලන පක්‍ෂ හා දේශපාලනඥයන් සතුටු කරමින් සහ දේශපාලන බලය පවත්වා ගැනීම වෙනුවෙන් ජනතාවට දැරීමට සිදුවන වැයබර අති විශාල බව එම නිවේදනය මඟින් පෙන්වාදී තිබේ.

අමාත්‍යවරුන් ලබාගන්නේ ඔවුන්ට හිමි මන්ත්‍රි වැටුප පමණක් බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කර තිබූ ප්‍රකාශය අගය කරන නමුත්, එය එසේ කළ නොහැකි බව දැනටමත් අමාත්‍යවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇතැයි නිවේදනයෙහි සඳහන්ව ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ 2010-05.-14 දිනැති චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකුගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලික නිලධාරීන් 15 දෙනකු අයත්වන අතර, අමාත්‍යවරයකුට හා ඔහුගේ කාර්ය මණ්ඩලයට නිල වාහන 6ක් හා ඊට අදාළව පෙට්රල් වාහනයක් සඳහා ලීටර් 750ක්ද, ඩීසල් වාහනයක් සඳහා ලීටර් 600ක්ද සපයන බව නිවේදනය මඟින් පෙන්වාදී තිබේ.

ඇමැතිවරයකුට හා පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය දුරකථන හා ඊට අදාළ වියදම්ද රජය මඟින් දරනු ලැබේ. ජනාධිපතිවරයාගේ සැප්තැම්බර් 09 දිනැති චක්‍රලේඛය මඟින් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද යම් පමණකට සීමාකර ඇත. නමුත් එය කාර්ය මණ්ඩලයෙන් 4 දෙනකු අඩු කිරීම, ලේකම්වරයෙක් පත් නොකිරීම හා එක් වාහනයක් අඩු කිරීමට සීමාවී ඇත. ඒ අනුව මෙහිදී බරපතළ කරුණ වන්නේ අමාත්‍යවරයා වැටුප් ගැනීම නොව ඔහුගේ කාර්ය මණ්ඩල නඩත්තුව හා වාහන පහසුකම් වෙනුවෙන් දැරීමට සිදුවන අති විශාල පිරිවැය බව එම නිවේදනයෙහි සඳහන්ව ඇත.

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තරව හා දේශීයව මහජන විශ්වාසය දිනාගත යුතු මොහොතක රජය ගෙනයන මෙවැනි ක්‍රියාමාර්ග හරහා රටට ඇතිවන හානිය මැනිය නොහැකි බවට පැෆරල් සංවිධානය එම නිවේදනය මඟින් පෙන්වාදී ඇති අතර, මේ සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළකර ඇත.

ජේ.ටී. ද සිල්වා