රනිල්ට එරෙහිව වෛරයෙන් ගන්නා තීන්දුවල අපි විරුද්ධයි

0
11

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තියෙන පෞද්ගලික තරහෙන්, වෛරයෙන්, කේ‍රා්ධයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දුවලට අපි කැමැති නැහැ. අමාරු වෙලාවේ රට භාරගත්ත නායකයාට මාස 6ක් හෝ අවුරුද්දක් සහාය දීලා ජනතාවට යමක් වෙනවාද කියා බලන්න අවශ්‍යයි.

ඒ නිසා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 8 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට විරුද්ධ වූ බව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පවසයි.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

ඉදිරියේදී මට විනය පරීක්ෂණයක් තියයි. විනය පරීක්ෂණයේදී අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මට පුළුවන්. ඒක එතකොට බලමු. තාත්තාගෙන් පුතාට පක්ෂයේ නායකත්වය දෙන්න කොහොමවත් ඉඩ දෙන්න බෑ. ශ්‍රී ලනිපයේ නායකත්වය තාත්තාගෙන් පුතාට යනවා නම් අනුර බණ්ඩාරනායක තමයි නායකයා වෙන්න තිබුණේ. එහෙම වුණේ නැහැ. තාත්තගෙන් පුතාට අම්මගෙන් දුවට නායකකම දුන්න කාලය ගියා. ශ්‍රී ලනිපයේ මධ්‍යම කාරක සභාවේදී අපි ප්‍රකාශ කළා අපි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව. අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ 15 දෙනෙක් ඉන්නවා. සභාපති, ලේකම් නිල බලයෙන් පත් වෙනවා. ඉතිරි 13 දෙනා සභාපතිගේ ගෝලබාලයෝ.

ඒ දේශපාලන මණ්ඩලය ගන්නා තීන්දු මධ්‍යම කාරක සභාවට දානවා.

මධ්‍යම කාරක සභාව කියන්නේ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ නැතිනම් මහින්ද මහත්තයාගේ කාලේ දි.මු. ජයරත්න, නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක වගේ හොඳ වැදගත් කැබිනට් ඇමැතිවරු නියෝජනය කළ එකක්. ඒත් දැන් කවුද මධ්‍යම කාරක සභාව නියෝජනය කරන්නේ. ගම්වලින් ආපු, ඡන්ද දහයක් නැති ඇච්චෝ, බැච්චෝ ටිකක්. දිස්ත්‍රික් නායකයෝ, ආසන සංවිධායකවරු ලෙස දාගෙන ඒ අය දැන් මධ්‍යම කාරක සභාවේ ඉන්නේ. එම මධ්‍යම කාරක සභාවෙන් තමයි තීරණ ගන්නේ. අර මධ්‍යම කාරක සභාවේ ඉන්න ඇච්චෝ බැච්චෝ කියන්නේ ඒ අය කියන විධියට පාර්ලිමේන්තුවේ ඉන්න අපිට වැඩ කරන්න කියලා.

ඒත් අපට එහෙම කරන්න බැහැ. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර කර හදන මධ්‍යම කාරක සභාවට යට වෙන්න නෙවෙයි ජනතාව අපට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. ඒ නිසයි අපි 8 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුණේ.