මවුපියන් නිවෙසේ නැති අතරේ දෙහැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහර දුන් සේවිකාව සොයා පොලිස් පරීක්‍ෂණ

0
10

ඔක්කම්පිටිය පොලිස් වසමට අයත් කදුරුවැලෑන ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසක දියණියන් දෙදෙනකු බලාගැනීමට පැමිණි කාන්තාවක් අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් පිළිබඳ ඔක්කම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නිවෙසේ හිමිකරු මැණික් ව්‍යාපාරිකයකු වන අතර බිරිය බැංකු සේවිකාවකි.

ඔවුන්ට අවුරුදු තුනයි මාස දෙකක් හා මාස නවයක් වයසැති දියණියන් දෙදෙනෙකු සිටින අතර නිවෙසේ වැඩකටයුතු සඳහා කාන්තාවන් දෙදෙනකුගේ සේවය ලබාගෙන ඇත. එක් කාන්තාවක් ඉවුම්පිහුම් කටයුතුවලටත්, අනෙක් කාන්තාව දරුවන් දෙදෙනා බලාගැනීමටත් යොදවා ඇත.

අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියගේ හැසිරීම අනුව දරුවා කිසියම් අසහනයකින් පෙළෙන බව තේරුම්ගත් දැරියගේ මව සිය ජංගම දුරකථනය පටිගත වන ලෙස සකසා එය නිවෙස ඇතුළත තබා රාජකාරි කටයුතුවලට පිටව ගොස් ඇත.

පසුව පැමිණ ජංගම දුරකථනයේ පටිගතව ඇති ශබ්ද පරීක්ෂා කිරීමේදී සේවිකාව විසින් දරුවාට අමානුෂික ලෙස පහරදී බැනවදින ආකාරයත් දරුවා හඬන ආකාරයත් එහි පටිගතව තිබී ඇත.

සිද්ධිය පිළිබඳව ඔක්කම්පිටිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔක්කම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය පිළිබඳව ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ජේ. සී. ඒ. බැසිල් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.

බිබිල – නඳූන් ගුණතිලක