පේරාදෙණිය උද්භිද උද්‍යානයට වසර 200ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර 4ක්

0
14

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් උද්‍යාන ශ්‍රවණාගාරයේදී ඊයේ (13දා) සිදු කෙරිණි.

බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය විසින් සුදු ජාතිකයන්ගේ විවේකය ගත කිරීම හා ආර්ථික භෝග හඳුන්වා දීම සඳහා වර්ෂ 1821දී රාජකීය උද්භිද උද්‍යානය පිහිටුවා තිබේ.

200 සංවත්සරය නිමිත්තෙන් එම උද්භිද උද්‍යානයේ පිහිටි කුඩ ගස සහ ජාතික ශාඛාගාරය, පොකුණ සහ දර්ශනීය භූ දර්ශනය, නත්තල් කේක් ගෙඩිය සහ නත්තල් ගස සහ ගාඩ්නර් ස්මාරකය යන ස්ථානවලින් සමන්විත සමරු මුද්දර හතරක් ඒ අනුව එළිදැක්විණි.

මෙරට වෘක්ෂලතා එකතුව ජාතික උද්භිද උද්‍යානය ශාඛාගාරය විසින් සිදුකරයි. රතු දත්ත පොත සකස් කිරීම හා එය යාවත්කාලීන කරමින් පවත්වා ගැනීමද මෙම ආයතනය විසින් සිදු කරන අතර එම ආයතන ගොඩනැඟිල්ල සහ දැවැන්ත කුඩයක් මෙන් දිස්වන ජාවා නුග ගසින් යුක්ත සමරු මුද්දරයක් ඒ අනුව නිකුත් කොට තිබේ.

අලංකාර නිල් සැල්වියා මලින් යුක්ත පොකුණ ස්මරණය කරමින්ද මුද්දරයක් නිකුත් වූ අතර කේක් ගෙඩියක හැඩය ගත් ශාක ගෘහය ස්මරණය කරමින්ද නව මුද්දරයක් නිකුත් කෙරිණි.

එමෙන්ම මෙම උද්‍යානයේ දෙවැනි අධිකාරිවරයාවූ ජෝර්ජ් ගාඩ්නර් මහතා (1844-1849) සිහිපත් කරමින් වර්ෂ 1855දී ස්ථාපිත කළ ස්මාරකය සහිත මුද්දරයක් වශයෙන් මුද්දර හතරක් එළිදැක්වීම මෙහිදී සිදු විය.

මුල් දින කවරවලින් යුක්තව නිකුත් කරන ලද සමරු මුද්දර නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ විසින් සම්භාවනීය ආරාධිතයන් වෙත ප්‍රදානය කිරීම මෙන්ම උද්භිද උද්‍යානයේ දිගුකාලීන කාර්ය මණ්ඩල සාමාජිකයන් උදෙසා සමරු තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක, තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ශමීෂා ද සිල්වා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහනුවර – කේ.එල්. සුරවීර