නාගරික ලොක්කෝ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නිරුත්තර වෙති

0
18

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයක කාණුවකට ඇදවැටී සජිත ගුණරත්න නමැති 14 හැවිරිදි පාසල් සිසුවා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මඟින් කෙරෙන විමර්ශනයට අදාළව ඊයේ (13දා) කළ ප්‍රකාශ ලබාගැනීමේදී කුරුණෑගල නගර සභා නිලධාරීන් නිරුත්තර වී ඇතැයි වාර්තා වේ.

නගර සභා බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නගර සභාව ක්‍රියාත්මක නොවීම ඊට හේතු වී ඇතැයි කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විමර්ශනය සඳහා කුරුණෑගල මහ නගර සභා නාගරික කොමසාරිස්වරයා කුරුණෑගල ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඊයේ (13දා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබිණ.

අදාළ සිදු වීම සහ නාගරික ඉදිකිරීම් ඇතුළු කරුණු පිළිබඳව එහිදී අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොමිසමේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

ඇතැම් කාණු ඉඩම් මැදින් සාදා ඇති බවත් එවැනි දෑ සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව විමසීමේදී නගර සභාවේ නිලධාරියා නිරුත්තර වූ බවත් මානව හිමිකම් කොමිසමේ එම ජේ‍යෂ්ඨ නිලධාරියා පැවැසීය.

මෙම විමර්ශන කටයුතු සඳහා මියගිය දරුවාගේ පාර්ශ්වයද කැඳවා තිබුණු නමුත් ඊට සහභාගි වීමට තරම් මවුපියන් මානසික මට්ටමක නොසිටින බවට මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන් බව එම නිලධාරියා සඳහන් කළේය.

එවැනි අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වීමට බලපෑ සාධක මෙන්ම එවැනි දෑ ඉදිරියේදී සිදු නොවීමට අදාළ ආයතන ගත යුතු පියවර පිළිබඳවද මෙම විමර්ශනයේදී අවධානය යොමු කරන බව ඔහු කීය.

අදාළ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජේ‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා එහි ගොස් තිබිණි.

පාසල නිම වී අතුරු මාර්ගයක් ඔස්සේ සිය නිවෙස වෙත යමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවකු වූ සජිත ගුණරත්න මාර්ගයේ පටු ස්ථානයකදී එම මාර්ගයේ පැමිණි වාහනයකට ඉඩදීම සඳහා කාණුවේ ගැට්ට මතට ගොඩවන විට පය ලිස්සා ඒ තුළට ඇද වැටීමෙන් මරණයට පත්විය.

කුමුදු ජයවර්ධන