දකුණේ ජනතාව අරගල කළත් උතුරේ ජනතාව අරගල කළේ නෑ

0
19

අෑත රජ කාලයේ සිටම රට පාවාදුන් පිරිස් සිටි බවත් වර්තමානයේද එවැනි යම් යම් කණ්ඩායම් සිටින නිසා ඒ ගැන ඉතා හොඳ අවබෝධයකින් සිටිය යුතු බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.

රජ කාලයේදී රට පාවාදුන් කණ්ඩායම්වලට පසුව මෙරට සිදුවූ කැරලි, ත්‍රස්තවාදී ක්‍රියා සහ භීෂණ ක්‍රියාවලීන් රට අස්ථාවර කිරීමට යම් යම් කණ්ඩායම් උත්සාහ දැරූ බවත් වර්තමානයේදීත් ඒ ආකාරයට රට අස්ථාවර කිරීමේ යම් යම් කුමන්ත්‍රණ සිදුවෙමින් පවතින බවත් නියෝජ්‍ය  කථානායකවරයා අවධාරණය කරයි.

“ඇත්ත යට ගහලා බොරුව මතුකරන සංස්කෘතියක් රට තුළ ගොඩනැංවීම සඳහා යම් යම් පිරිස් උත්සාහ ගනිමින් සිටිනවා. ඒ සඳහා සමාජ මාධ්‍යයන් යම් ආකාරයකට උපයෝගි කරගන්න හදනවා. රට විනාශයට ගෙනයෑමට උත්සාහ කරන එවැනි කණ්ඩායම්වල උත්සාහයන්ට රැවටෙන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා.

උතුරේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව උතුරේ අරාජික තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ.

පසුගිය මැයි 09 වැනිදා මෙරට සිදුවූ විරෝධතාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඝාතනය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 74 දෙනකුගේ නිවාස ගිනි තිබ්බා. නමුත් උතුරේ ජනතාව විරෝධතා, අරගල සිදුකළේ නැහැ. කාගේවත් ගෙවල් ගිනි තිබ්බෙත් නැහැ. උතුරේ නැති ප්‍රචණ්ඩත්වයක් දකුණේ ඇති කළේ කොහොමද? ඒක කළේ කවුද? එහි තිබුණු වුමනාව කුමක්ද? යන්න දැන් හොඳින් පැහැදිලි වෙමින් පවතිනවා.

අද පාන් රාත්තල දකුණේ ඇතැම් ප්‍රදේශවල රුපියල් 300ට අලෙවි කරන බවට වාර්තා පළවෙනකොට උතුරේ පාන් ගෙඩියක මිල රුපියල් 190ක් බවට වාර්තා පළ වෙනවා.

මෙම කරුණු ගැන සමාජයේ අවධානය ඉතා ගැඹුරින් යොමුවිය යුතුයි. ඒක නිසා මතුවෙමින් පවතින අපිට නොගැළපෙන සමාජ සංස්කෘති ඉතා හොඳින් තේරුම් බේරුම් ගෙන එම කාරණාවලින් රට බේරාගැනීමේ වගකීම අපි සියලු දෙනාටම පැවරී තිබෙනවා” යැයි අජිත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

නියෝජ්‍ය කථානායකවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ  සූරියවැව වැවේගම කනිෂ්ඨ විද්‍යාලයේ පසුගියදා පැවැති භාණ්ඩ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.