ජාත්‍යන්තර සිරකරු දිනය දා සිරකරුවන් 417කට සමාව

0
18

ජාත්‍යන්තර සිරකරු දිනයට සමගාමීව ජනාධිපතිවරයා ලබාදුන් විශේෂ සමාවක් මත සිරකරුවන් 417 දෙනකු බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් නිදහස් කර තිබේ.

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව හා සුළු වැරැදි සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවන් 413 දෙනකු හා සිරකාරියන් 4 දෙනකු එසේ නිදහස් කර ඇත.

දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවලින් තෝරාගත් සිරකරුවන් පිරිසකට එසේ නිදහස ලැබී තිබේ.ජාත්‍යන්තර සිරකරු දිනය පසුගිය 12 වැනිදා යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රයේදී පැවැත්විණි.

සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපකරණ ලබාදීම, එම දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක්ද මෙම උත්සවයට සමගාමීව සිදු කෙරිණි.

කුමුදු උපුල් ශාන්ත